ක්‍රීඩාව ශ්‍රී ලංකා ආර්ථිකයට ආදායම් ගෙන දෙන අයිතමයක් බවට පත්කිරීමට බාධාවක් වී තිබෙන පැරණි ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් ගෙන ඒම පළමුවෙන්ම කළ යුතු කාර්ය බවට පත්ව ඇතැයි තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.



රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශයේදී පෙරේදා (18 වැනිදා) නිල වශයෙන් වැඩ බාරගැනීමෙන් පසුව නාමල් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

'අපි පළමුවෙන්ම අලුත් ක්‍රීඩා පනතක් ගේන්න ඕනේ. 1973 හදපු ක්‍රීඩා පනත හතර වතාවක් සංශෝධනය කරලා තියෙනවා. මුල හදන්නේ නැතුව මැදින් පැලැස්තර අලවලා පළක් නෑ.

අග්‍රාමාත්‍යතුමාගේ සහ ජනාධිපතිතුමාගේ උපදෙස් අරගෙන ශ්‍රී ලංකා නීතීඥයන්ගේ සංගමයත්, නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ අමාත්‍යවරයාත් සමඟ සාකච්ඡා කරලා නව ක්‍රීඩා පනතක් හදන්න ඕනේ. ඒ මත තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ පැවැත්ම තීරණය වන්නේ.

"ක්‍රීඩා පනතට අනුව සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම රජයෙන් යැපෙන තත්ත්වයකයි තියෙන්නේ. දියුණු වන රටවල් වල සෑම රටකම දළ දේශීය ආදායමෙන් සියයට දෙක තුනක් ක්‍රීඩාවෙන් ලැබෙනවා. අපි තවමත් පැරණි ක්‍රීඩා පනත සහ රෙගුලාසීවල සිටීම නිසා අපිට හොඳ ඉලක්කයකට යෑමට නොහැකි වී තිබෙනවා. “රටේ ක්‍රීඩාව ගොඩනගන්න ග්‍රාමීය ක්‍රීඩාව සංවර්ධනය කරන්න ඕනේ. සමස්ත සැළැස්ම සඳහා විශේෂයෙන්ම නව ක්‍රීඩා පාලක සභාවක් ලබන සතියේ පත්කරනවා. එයට වෘත්තිය, වගකීමෙන් කටයුතු කරන විනිවිදභාවයෙන් යුත් පුද්ගලයන් පත්කරනවා. අපි එම සභාවට ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රීඩාව සංවර්ධනය කිරීමට පූර්ණ බලතල දෙනවා".

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව කළ විමසුමේදී රාජපක්‍ෂ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොවෙයි, සියලු ක්‍රීඩා දියුණු කරන්න අපි කටයුතු කරන්න ඕන්නේ. ඒ සඳහා එම ආයතන ස්වාධීනව කටයුතු කළ යුතුයි. එම ක්‍රීඩා සංගම්වල සහ ක්‍රීඩා අමාත්‍යංශය තුළ විනිවිදභාවය ආරක්‍ෂා කරන්න අපි කටයුතු කළ යුතුයි"යැයි නාමල් මහතා වැඩිදුරටත් පැවසීය.

- යොහාන් භාසුර -