රුපියල් අනූඅට ලක්ෂ හතළිස් හත්දහස් තුන්සියයක චෙක්පත් 48 ක් සහ හෙරොයින් ග්‍රෑම් 05ක් සමග අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත මිනුවන්ගොඩ පොලිසියේ රඳවාගෙන විමර්ශන කරන “හැට්ටයා’ යන ආරූඪ නාමයෙන් හඳුන්වනු ලබන හෙරොයින් ජාවාරම්කරු වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථානය කොන්ද්‍ර කරගෙන හෙරොයින් ජාවාරම්වල නිරත වී සිට ඇති බවට මිනුවන්ගොඩ පොලිසිය අනාවරණය කරගෙන තිබේ.


හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා මත කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින 'රගරා'යන ආරූඪ නාමයෙන් හඳුන්වනු ලබන සැකකරු සමඟ එක්ව මෙම 'හැට්ටයා' නමැති සැකකරු හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවටද අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන සහ යන ලොරි රථද හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති සැකකරු හෙරොයින් අඩංගු පාර්සල් වළවළු ගෝනි තුළ සඟවා ප්‍රවාහනය කර ඇති බවත් එම ගෝනි තුළ හෙරොයින් ඇති බව ලොරි රථ රියැදුරු හෝ සහායක නොදන්නා බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ට පොලී පදනම මත මුදල් ලබාදී ඇති සැකකරු ආර්ථික මධ්‍යස්ථානයේ චණ්ඩියා ලෙස කටයුතු කරමින් සිට ඇතැයි පොලිසිය පැවසීය.

හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා මුදලින් අනියම් බිරියන් 06 දෙනකු නඩත්තු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති 'හැට්ටයා’ නමැති සැකකරු හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා මුදලින් කොටසක් පොලී පදනම මත ලබාදී ඇති බවට සැකකරු සන්තකයේ තිබියදී පොලිසිය බාරයට ගත් ලේඛනවලින් සනාථ වී ඇති බව පොලිසිය කීය.

හෙරොයින් කුඩා පැකට් ලෙස සකසා විකිණීම සැකකරු විසින් සිදුකර නොමැති බවත් කළුතර බන්ධනාගාරගතව සිටින ‘රගරා" නමැති සැකකරුගේ මාර්ගයෙන් හැට්ටයාට තොග මගින් ලැබෙන හෙරොයින් පාර්සල් සැකකරුට ලද සැනින්ම උප නියෝජිතයින් සහ එළවළු ලොරි රථ මගින් දිවයින පුරා බෙදාහැර ඇති බවට මෙතෙක් කරන ලද පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාට ලද තොරතුරක් මත වේයන්ගොඩ, මගෙලෙගොඩ හීන්කෙන්ද ප්‍රදේශයේ පදිංචි ඩබ්.කේ. ප්‍රියන්ත රණවීර හෙවත් 'හැට්ටයා'. නමැති ආරූඪ නාමයෙන් හඳුන්වනු ලබන සැකකරු මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයේ අවසර මත මිනුවන්ගොඩ පොලිසියේ රඳවා විමර්ශනය කරනු ලබයි.

- ටෝනි කරුණානායක -