ලංගම බස් රථයකින් හොර රහසේ ප්‍රවාහනය කරමින් රුපියල් ලක්ෂ 1 ක මුදලකට අලෙවි කිරීමට ගිය කේරළ ගංජා පාර්සලයක් සමඟ ලංගම බස් රථයක රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.



පුත්තලම මූලස්ථාන පොලිස් පරික්ෂක පී. කුමාරදාස මහතාට ලැබුණු පුද්ගලික තොරතුරක් මත මන්නාරම සිට කොළඹට ධාවනය කළ පුත්තලම ඩිපෝවට අයත් ලංගම බස් රථය පරීක්ෂා කිරිමේ දී රියදුරු අසුන ළඟ කොන්දොස්තරට අයිති ගමන් බෑගයක් තුළ සඟවා තිබූ මෙම ක්රළ ගංජා පාර්සලය පොලීසියට හමු වී තිබේ.

පෙරේදා (4) දා රාත්‍රී 9.20ට පමණ පුත්තලම කුරුණෑගල මාර්ගයේ අනුරාධපුර හන්දිය ආසන්නයේ දී  මෙම වැටලීම සිදුකර තිබේ. මෙහිදී කිලෝ එකයි ග්‍රෑම් 900 කේරළ ගංජා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මැතිවරණ කාලය තුළ පොලිස් නිලධාරින් හා ආරක්ෂක අංශ එම කටයුත්තට ප්‍රමුඛතාවය ලබා දී ඇති අවස්ථාවක ඉතා සූක්ෂම ලෙස මෙම ගංජා ප්‍රවාහනය සිදුකර ඇති බවත්, ගංජා ප්‍රවාහන කළ බස් රථය කිසියම් අපදාවක් සිදු වී ඇති බව පවසා එම බස් රථයට පසු පසින් පැමිණි වෙනත් ඩිපෝවක ලංගම බස් රථයට මගීන් පටවා ගංජා ප්‍රවාහනය කළ බස් රථය පුත්තලම ඩිපෝවට පැමිණෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් ද නොමඟ යවමින් මෙම කේරළ ගංජා පාසලය රැගෙන ගොස් ඇති බවත් පොලීසිය පවසයි.


අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මඳුරන්කුලිය, මුන්දලම පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. ගංජා ප්‍රවාහනය කළ බස් රථයෙන් මගීන් ලබාගත් අනෙක් ලංගම බස් රථය ද දැඩි පරික්ෂාවකට ලක්කර ඇති අතර එම මගීන් පවසා ඇත්තේ සාලියවැව ප්‍රදේශයේ දී පුද්ගලයකු ගමන් මල්ලක් රැගෙන බැස ගිය බවයි.

පුත්තලම මූලස්ථාන පොලිස් පරික්ෂක පී. කුමාරදාස මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. වන්නිආරච්චි, උ.පො. බණ්ඩාර, පො.සැ. රූපසිංහ (13641), පො.කො. දිසානායක (87238), දේශප්‍රිය (85479) යන නිලධාරීහු මෙම වැටලීම කළහ. සිද්ධිය සම්බන්ධව පුත්තලම පොලීසිය පරික්ෂණ පවත්වයි.

- එච් චන්දන -