“අපි තාත්තට කිව්වා තාත්තා ඉන්නේ අසනීපයෙන්, තාත්තට අමාරුයිනේ. ඒ නිසා ඡන්දය දාන්න යන්න එපා කියලා. තාත්තා ඒ පාර කිව්වා මම මළත් කොහොම හරි මගේ ඡන්දය දානවා කියලා. තාත්තා ඡන්ද පොළට ගියා" යැයි ඊයේ (5) පානදුර බෙක්කේගම කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී හදිසියේ මියගිය 81 හැවිරිදි මිනුවන්පිටියගේ
ගාර්ලින් පීරිස් මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්‍ෂි දුන් ඔහුගේ පුතාවන බෙක්කේගම නාවැටිය පාර පදිංචි එම්. උපුල් සුජීව පීරිස් මහතා (අවු. 50) පැවසිය. සාක්‍ෂි විභාගය පානදුර නාගරික හදිසි  මරණ පරීක්ෂක දුමින්ද දේවප්‍රිය අධිකාරම් මහතා හමුවේ පානදුර මූලික රෝහලේදී පැවැත්වුණි. තවදුරටත් සාක්‍ෂි දුන් මියගිය අයගේ පුත් උපුල් සුජීව පීරිස් නැමැති අය මෙසේද කීය.

"තාත්තා ඡන්දපොළට ගිහිල්ලා ටික  වේලාවකට පස්සේ ආරංචියක් ආවා තාත්තට හොඳටම අමාරුයි කියලා. පස්සේ අපි ගිහිල්ලා තාත්ත ත්‍රිරෝද රථයක දාගෙන පානදුර මූලික රෝහලට ගෙනාවා. වාට්ටුවට ඇතුළත් කළා. පසුව මියගිය බව දැනගත්තා. මෙම මරණය ගැන කිසිඳු සැකයක් නැහැ. තාත්තා වසර 10 ක් තිස්සේ බෙහෙත් ගත්තා.” මියගිය අයගේ බිරියවන දෝන දයාවතී සිල්වා මහත්මිය සාක්‍ෂි දෙමින් මෙසේ කීවාය.

"අපි එපා කියද්දී එයා ඡන්ද පොළට යන්න ගියා. කොහොම හරි මම ඡන්දය දානවා කිව්වා. දරුවනුත් එපා කිව්වා.  එයා හිතුවක්කාරකමට අපි කියන දේ අහන්නේ නැතිව ගියා. ඔහුට කාලයක්  තිසේසේ තිබූ රෝගය උත්සන්න වීමෙන් මෙම මරණය සිදු වූ බවට මම විශ්වාස කරනවා" ඡන්ද මධ්‍යස්ථානයේදී මරණයට පත්වූ 81 හැවිරිදි දෙදරු පියාගේ මරණය තොම්බෝසිස් නම් රෝගය උත්සන්න වීමෙන් සිදුවූ ස්වාභාවික මරණයක් බව පානදුර නාගරික මරණ පරික්ෂක දුමින්ද දේවප්‍රිය අධිකාරම් මහතා පශ්චාත් මරණ පරික්ෂණයේදී සිය නිගමනය ප්‍රකාශයට පත් කරමින් පැවසීය. සාක්‍ෂි මෙහෙයවීම පානදුර රෝහල් පොලිසියේ සැරයන් (55323) ධර්මරත්න මහතා සිදු කළේය.



-සමන් කාරියවසම්-