කොරෝනා වසංගත තත්ත්වය පහව යමින් තිබෙන බැවින් පාපැදී සම්මේලනයේ අඩපණවී තිබෙන කටයුතු යළි ආරම්භ කිරීමේ වාතාවරණයක් ගොඩනැගී තිබෙන බව පාපැදී සම්මේලනයේ හිටපු උප සභාපතිවරයෙකු වන සුජිත් සමරතුංග මහතා එහි හිටපු සභාපති එම් කරුණාරත්න මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටි.
පාපැදී ක්‍රීඩකයන් සඳහා බලපත්‍ර නිකුත් කිරීම, පුහුණු සංචිත ආරම්භ කිරීම, වැඩමුළු සංවිධානය, ජාතික පාපැදි ශූරතා තරඟාවලිය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ඔහු පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.


හිටපු උප සභාපතිවරයා එසේ ඉල්ලා සිටියද පාපැදි සම්මේලනයේ හිටපු සභාපති එන්. කරුණාරත්න මහතා පැවසුවේ පාපැදි තරඟ ආරම්භ කිරිමේ වටපිටාවක් තවමත් රට තුළ නිර්මාණය වී නැති බවයි. ඒ හේතුවෙන් දේශීය පාපැදි තරඟ ආරම්භය තවදුරටත් ප්‍රමාදවිය හැකි බවත් ඔහු පැවසීය.

“කොවිඩ් වසංගතයෙන් ගෝලීය අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. අන්තර්ජාතික පාපැදි සම්මේලනයත් මේ වනවිට ඔවුන්ගේ ජාත්‍යන්තර තරඟ ඉසව් අත්හිටුවා තිබෙනවා. බොහොම පැහැදිලියි අපට දේශීය තරඟ සංවිධානය කරන්න තවමත් වටපිටාවක් හැදිලා නෑ" යයිද කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

වසර 2018 සහ 2019 පාලන කාලය වෙනුවෙන් ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පාපැදි සමේට්ලන්තයේ නිල කාලය මේ වන විටත් අවසන් වී තිබෙන බවත් හැකි ඉක්මනින් නිලවරණය කැඳවන ලෙසත් ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාපැදි සමේලනයට උපදෙස් දී තිබේ. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් කළ විමසීමේදී දැනගත හැකිවූයේ සෑම ක්‍රීඩා සම්මේලනයක්ම පෙබරවාරි මස 28 වැනිදාට පෙර කලින් වර්ෂයේ ගිණුම් වාර්තා විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු බවත් එසේ ගිණුම් වාර්තා ඉදිරිපත් නොකරන්නේ නම් ජාතික ක්‍රීඩා සම්මේලනයක ලියාපදිංචිය සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් පැන නගින බවය.

“සෑම වර්ෂයකම පෙබරවාරි 28 වැනිදාට ඉස්සරින් ගිණුම් වාර්තා විගණනයට ඉදිරිපත් කරන්න කියලා අපි ජාතික ක්‍රීඩා සංගම් වලට කියලා තියෙනවා. 2018 විගණන වාර්තාව ඉදිරිපත් කරන්න 2018 අගෝස්තු මාසය වෙනකම් අපි පාපැදි සම්මේලනයට කන්දුන්නා. 2019 ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන්න මේ අවුරුද්දේ ජූලි වෙනකම් කල්දුන්නා. ඒත් එවලා නෑ" ඉතින් ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්නේ නැත්තම් අපි මොනවා කරන්නද? ඒකෙන් වෙන්නේ ක්‍රීඩකයන්ට හෝ පුහුණුකරුවන්ට කිසිම ආකාරයක දීමනාවක් දෙන්න ක්‍රීඩා අමාත්‍යාංශයට අවස්ථාවක් නොලැබෙන එකයි” යයි ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ආර්. බී. වික්‍රමසිංහ මහතා ඊයේ (5 වැනිදා) පැවසීය.

මේ මස 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් 25 ක් අතරට පාපැදි සම්මේලනයද ඇතුළත්ව තිබේ. එහෙත් පාපැදි සම්මේලනයේ නිලවරණය කැඳවීම සඳහා මෙතෙක් පියවර ගෙන නැත. එය කැඳවන්නේ නම් ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් වෙත අවම වශයෙන් දින 55 කට පෙර හෝ දැනුම්දිය යුතුව තිබේ. ඒ පිළිබඳව මේ වනවිට ක්‍රීඩා සමාජ කිහිපයක්ම පාපැදි සම්මේලනයෙන් විමසීම් කර තිබේ. ඒ අතර ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ පාපැදී සම්මේලනයේ නිලවරණය මෙම 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු බවය.


පසුගිය පෙබරවාරියේ පැවැති ගුවන් හමුදා පාපැදි සවාරිය 2020 වසර සඳහා පාපැදි සම්මේලනය මෙහෙයවූ අවසන් තරඟාවලියයි. පාපැදි සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මේ වනවිට ජාතික පාපැදී පුහුණුකරුගේ දීමනා ලබාදීම් හා ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබිය යුතු මූලධාර ගෙවීම්ද අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් මහ මැතිවරණයෙන් පසුව පත්වන නව ක්‍රීඩා ඇමැතිවරයා සමඟ සාකච්ඡා කරමින් පාපැදී සම්මේලනයේ නිලවරණය කැඳවීමට කටයුතු කරන බව එහි හිටපු සභාපති අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා පැවසිය. පසුගිය මාර්තු මාසයේ සිට පාපැදි සම්මේලනයේ කටයුතු ඇණහිට තිබේ. ඒ අතර පාපැදි සමේලනයේ වත්මන් නිල කාලය සම්බන්ධයෙන් එහි විධායක සභාව හා ක්‍රීඩා අමාත්‍යාංශය අතර මත ගැටුමක් ද හටගෙන තිබේ.

අවසන් වරට පැවැති නිලවරණයෙන් තමන් පත්වූයේ සිව් වසරක නිල කාලයක් සඳහා යයි පාපැදි  සම්මේලනයේ වත්මන් විධායක සභාව ප්‍රකාශ කරයි. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව විධායක සභාවේ පත්වීම් නිල කාලය දෙවසරකට පමණක් සීමාවන බවයි. ක්‍රීඩා පනතට අනුව තමන්ට උපරිම සිව් වසරක කාලයක් දක්වා වත්මන් නිල කාලය පවත්වාගෙන යා හැකි යැයි තර්කයක් ගෙන එමින් වත්මන් විධායක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයට එන්තරවාසියක් යැවීමටද කටයුතු කළේය.

- නාමල් පතිරගේ -