මෙවර මහ මැතිවරණයේදී ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකා පොඳුජන පෙරමුණට වැඩිම ඡන්දය ප්‍රතිශතයක් හිමි වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයෙනි. කඹුරුපිටිය ආසනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
සියයට 78.17ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇතැයි මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ එම පෙරමුණු කණ්ඩායම් නායක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  පැවසිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වෙනුවෙන් දෙවැනියට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ හක්මන ආසනයෙන් වන අතර එම ප්‍රමාණය සියයට  78.04ක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.තෙවැනියට වැඩිම ඡන්ද ප්‍රතිශතය ලෙස සියයට 77.8ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයෙනි. පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වැඩිම ඡන්ද  ප්‍රතිශතයක් හිමිවූයේ ද කඹුරුපිටිය ආසනයෙන් බව අමාත්‍යවරයා කීවේය.

-ඩයනා උදයංගනී-