දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මොරටුව ලක්ෂපතිය රතුකුරුස වත්ත නිවසක් මතට කඩා වැටුණු සියඹලා ගහ දින තුනක් ඉකුත් වී ගොස් තිබිය ද මෙතෙක් කපා ඉවත් කිරීමට කිසිඳු බලධාරියකු මැදිහත් වී නොමත.
මේ සම්බන්ධයෙන් අප කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර සම්බන්ධීකරණ නිලධාරී අනුර කලංසූරිය මහතාගෙන් විමසා සිටි අතර කලංසූරිය මහතා පැවසුවේ විවිධ පාර්ශවයන්ගේ කඹ ඇදීම නිසා මෙම කඩාවැටුණු සියඹලා ගස කපා ඉවත් කිරීමේ ගැටලු මතුවී ඇති බවයි.


වට අඩි දොළහකින් විශාල කඩා වැටුණු සියඹලා ගස ඉවත් කර දෙන ලෙස මොරටුව මහ නගර සභාවෙන් ඉල්ලීමක් කළ ද සභාව සතුව ගස කපා ඉවත් කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ නොමැති බව ඔවුන් දැන්වූ බව ද කලංසූරිය මහතා පැවසීය. එහෙයින් අදාළ ගස ඉවත් කිරීමේ කාර්ය කොළඹ මහ නගර සභාවට යොමු කළ අතර එහිදී ලක්ෂයකට අඩු මුදලක් අදාළ කාර්යය සඳහා වැයවෙන බව කොළඹ මහ නගර සභාව දන්වා ඇති බව ද කලංසූරිය මහතා පැවසීය.

මොරටු මහ නගර සභා බල ප්‍රදේශයේ නිවසක් ආපදාවට ලක්වූ මෙවැනි අවස්ථාවක මොරටුව මහ නගර සභාව අදාළ මැදිහත්වීම කරමින් ගස ඉවත් කිරීමට වැය වන මුදල දැරිය යුතු වුවත් ඒ සම්බන්ධයෙන් මොරටුව මහා නගර සභාව කර අරින පිළිවෙතක්ම පෙනෙන්නට ඇති බව ඒ මහතා පැවසීය. මොරටුව ප්‍රාදේශීය ලේකම් හා ආපදා කළමනාකරණ ඒකකය හා එක්ව අදාළ ගස කපා ඉවත් කිරීමට රාජ්‍ය දැව සංස්ථාවට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව පැවැසූ ඒ මහතා ඉදිරි දින දෙක ඇතුළත දී අදාළ ගස ඉවත් කිරීමට අවශ්‍ය පියවර රාජ්‍ය දැව සංස්ථාව ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් මොරටුව පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගෙන් ද අප විමසීමක් කළ අතර ඒ මහතා පැවසුවේ ඉදිරි දින දෙක ඇතුළත රාජ්‍ය දැව සංස්ථාව විසින් අදාළ ගස කපා ඉවත් කරන බවත් ඔවුන් කපන ගස ඇද දැමීමේ ක්‍රියාවලිය සභාව විසින් සිදුකරන බවයි.

කෙසේ වුවද මෙතෙක් කිසිඳු නිලධාරියකු ගස ඉචත් කිරීමට පියවරක් ගෙන නොමැති අතර අදාළ නිවැසියෝ දැඩි දුෂ්කරතාවට ලක්ව සිටිති.

- රේඛා තරංගනී ෆොන්සේකා -