හොරොයින් මත්කුඩු අලෙවි කිරීමේ යෙදුණු පුද්ගලයකු ඇතුළු මත්කුඩු ජාලයක් මෙහෙයවන රැදවියකුගේ පෙම්වතියක් හා ත්‍රිරෝද රථ රියැදුරකු රුපියල් ලක්ෂ 15 කට ආසන්න මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි. එම සැකකරුවන් සමග මත්කුඩු ග්‍රෑම් 107 ක්, ජාවාරමෙන් උපයා ගත්
බවට සැක කරන රුපියල් එක්ලක්ෂ හැත්තෑ එක්දහසක මුදලක්, විද්‍යුත් තරාදියක්, මත්කුඩු එතීමට ගන්නා ඉටූකොළ හා ත්‍රිරෝද රථයක් පොලිස් බාරයට ගෙන ඇත. හෝමාගම කටුවාන පාර ප්‍රදේශයේ දී කාලයක සිට කොස් වෙළඳාමේ නිරත පුද්ගලයකු ඊසිකෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු  අලෙවි කිරිමේ ජාවාරම ද සිදු කරන බව හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක  අජිත් ප්‍රසන්න මහතාට ලද තොරතුරක් අනුව පොලිස් උපාය දූතයන් යොදවා දින කිහිපයක් තිස්සේ සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස එය තහවුරු කිරිමට හැකි වූ බව පොලිසිය කියයි.

සැකකරුට ඇමතුමක් ලබා දී ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු පැකට්ටුවක් ඇනවුම් කර එය ලබා දීමට සැකකරු කටයුතු කිරිමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ මත්කුඩු ග්‍රෑම් 35 ක් පොලිස් බාරයට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසිය.  අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේදී මත්කුඩු ජාවාරම හේතුවෙන් මහාධිකරණ නියෝග මත වැලිකඩ  බන්ධනාගාරයේ සිරගතව සිටින පුද්ගලයකු ලබාදෙන මත්කුඩු රිසිකෑෂ් හරහා හෝමාගම, කහතුඩුව, උඩුවන, පිටිපන ආදී ප්‍රදේශවල විදුලි කණු, දුරකථන කණු, පාලම් හා බෝක්කු වැනි හඳුනාගත හැකි ස්ථානවල තබමින් මෙම ජාවාරම් කරගෙන ගිය බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම සැකකරුගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව තොග වශයෙන් මත්කුඩු සපයන සිරගතව සිටින පුද්ගලයාට ඔහු ලවා දුරකථන ඇමතුමක් ලබා දී මත්කුඩු ග්‍රෑම් 40 ක් ඇනවුම් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාගේ පෙම්වතිය බව කියන කාන්තාව එම මත්කුඩු කොස් වෙළෙඳාම කරන ස්ථානයට ත්‍රිරෝද රථයකින් රැගෙන ඒමෙන් අනතුරුව එම කාන්තාව හා ත්‍රිරෝද  රථ රියැදුරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අනතුරුව සැකකාරිය පදිංචි හෝමාගම උඩුවන නිවස පරික්ෂා කිරිමේදී නිවෙස තුළ සගවා තිබූ තවත් මත්කුඩු ග්‍රෑම් 32 ක් හා ජාවාරමේන්  උපයා ගත් මුදල් සොයාගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකාරියන්  ආරක්ෂිත පියවරක් ලෙස කලින් කලට මරදාන, තලවතුගොඩ ආදී ප්‍රදේශවලට කුලී පදනම මත පදිංචිව සිට මීට සති  තුනකට පමණ ඉහත දී හෝමාගම උඩුවන ප්‍රදේශයේ නිවසකට පදිංචියට පැමිණ තිබූ බව පරික්ෂණවල දී හෙළි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.