ෆේස්බුක් සාදයකට සහභාගි වෙමින් සිටි තරුණියන් පස්දෙනකු ඇතුළු 19 දෙනකු ඊයේ (09) පස්වරුවේ මිල්ලනිය බැල්ලත්තුඩාව සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගත් බව කළුතර දිසා දූෂණ මර්දන ඒකකය කියයි. අත්අඩංගුවට පත්වූවන් ගල්කිස්ස, කඩුවෙල, සඳලංකාව, හොරණ, බණ්ඩාරගම, කැස්බෑව සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 18 ත් 29  ත් අතර වයසේ පසුවන
තරුණ තරුණියන් බව පැවසේ. ලැබුණ තොරතුරක් මත උපපොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ මහතා ඇතුළු පොලිස්  කණ්ඩායම හෝටලය වටලා පරික්ෂා කිරීමේදී
ඔවුන් සතුව තිබූ එකක් රුපියල් පන්දහසකට පමණ අලෙවි වන ෆිල් ටැබ්ලට් 10 ක්, හෙරොයින් ග්‍රෑම් පහක්, කේරළ ගංජා ග්‍රෑම් 15ක්, විදේශීය මත්පැන් බෝතල් දෙකක්, දුම්වැටි තොගයක්, ෆිල් ටැබ්ලට් සමගින් මත්වීමට භාවිත කරන චොකලට් 20 ක් සමගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඔවුන් ළග තිබූ නවීන ජංගම දුරකථන 24 ක්, ශබ්දය විකාශන යන්ත්‍ර සහ ආලෝක කරන පද්ධතිය  සහ ඔවුන් පැමිණි යතුරු පැදි 07 ක් සහ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

පස්වරු දෙකට පමණ සාදය ආරම්භ කර මධ්‍යම රාත්‍රිය දක්වා පවත්වාගෙන යාමට සැලසුම් කර තිබූ බවත් පොලිස් කණ්ඩායමක් සාඳය වැටලීම සැලවීමත් සමගින් පැමිණීමට නියමිතව සිටි තවත් දස දෙනකු පමණ සාදය මගහැර ඇති අතර මත්කුඩු සහ මත්පෙති සැපයීමට සිටි පුද්ගලයාද පොලිසිය මගහැර ඇති බවත් පැවසේ. සාදය මෙහෙයවා ඇත්තේ රෝද පුටුවක සිටින ආබාධිත තරුණයකු බවත් එක් අයකුගෙන් සාදය සඳහා රුපියල් පන්දහසක පමණ මුදලක් අයකර ඇති බවත් මෙතෙක් කරන ලද පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.  එක් තරුණියක විසින් තරුණියන් තව තිදෙනකු සෘදයට කැටුව විත් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට පත් සැකකරුවන් මිල්ලනිය පොලිසියට භාරදී ඇති අතර හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-