න්දියාවේ කේරළ ප්‍රාන්තයේ සුප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වන රිහානා පාතිමා
තම පුත්‍රයා සහ දියණිය ලවා තම නග්න උඩුකය මත සිත්තමක් නිර්මාණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණි.
ඇගේ මෙම ක්‍රියාවට එරෙහිව පසුගිය දිනෙක ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇයට සිරදඩුවම් නියම කරනු ලැබ ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වාදෙන ආකාරයට

තම බාල වයස්කාර දරුවන්ට නිරුවත් පියයුරු පෙන්වීමෙන් ඇය සදාචාරයට පටහැනි ලෙස ක්‍රියා කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.


ඉන්දියාවේ ප්‍රබල භාරතීය ජනතා පක්ෂයේ නායකයකු විසින් ඇය‍ට මෙසේ නඩු ගොනු කර ඇත. එමෙන්ම මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ ඇයට ඇප ලබාගැනීමට නොහැකි වන ආකාරයට බව පොලිසිය තහවුරු කර තිබේ.

නමුත් තම මවගේ පියයුරු දැක ඇති කිසිම දරුවකු වෙනත් කාන්තාවක් අපයෝජනය නොකරනු ඇති බව රිහානා පවසයි. මෙම සමාජ ක්‍රියාකාරිනිය වැඩිදුරටත් පවසා ඇත්තේ
පිරිමින් තුළ කාන්තා ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳ පවතින දුර්මතයන් ළමා අවධියේදීම නිවැරදි කළ යුත්තේ නිවසේ සිට බවත් එවිට ලිංගිකත්වය පිළිබඳ විකෘති අදහස් ඔවුන්ගේ මනසෙහි පැතිරීමට ඉඩ නොලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය.

එමෙන්ම සෑම නිරුවත් වීමක්ම ලිංගිකත්වයට සම්බන්ධ කර නොගත යුතු බව ඇය තරයේ කියා සිටියි. කාන්තාවන් සහ ස්ත්‍රී ශරීරය පිළිබඳ වැරදි ආකල්ප වෙනස් කළ හැක්කේ ළමා අවධියේ සිට නිවසේදීම නිසි අධ්‍යාපනය ලබාදීමෙන් පමණක් බව තර්ක කරන රිහානා සමාජයට යම් පණිවිඩයක් ලබා දීමට උත්සහ කරයි.
කෙසේවෙතත් මේ වන විට සංස්කෘතියට හානිකර ක්‍රියාවක් කිරීමේ චෝදනාවට ඇය වරදකාරිය වී ඇති බැවින් ඉන්දීය සමාජය තුළ මේ සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් තිබේ.

රිෂ්මි ඉෂාරා