බියගම සියඹලාපේ හංදියේ පලතුරු වෙළෙඳ සලක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු පෙරේදා (10) රාත්‍රී අභිරහස් ලෙස මරාදමා එම වෙළඳසල පිටුපස පිල්ලෑවේ වළ දමා ඇති බවට සැක කරන බව බියගම පොලිසිය පවසයි.
මෙසේ අභිරහස් ලෙස මරා දමා ඇති බවට සැක කරන්නේ එම පලතුරු වෙළෙඳ සල පවත්වාගෙන ගිය රාගම පතිරන්නැහැලාගේ මෙරිල් පද්මකුමාර (32) නමැති අයෙකු බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් බියගම පොලිසිය ඊයේ (11) මහර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඊයේ (11) පස්වරුවේ මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණී සිරිවර්ධන මහත්මිය සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කොට මෙම වළේ කැණීම් කටයුතු අද (12) දිනයේ සිදුකරන ලෙසට බියගම පොලිසියට නියම කළේය.

රාගම රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන් වන කේ.එන්.සී. සේනාරත්න සහ එස්. මලීෂ යන මහත්වරුද සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ ඒ පිළිබඳව නිරික්ෂණ සිදු කළහ. මෙම පලතුරු වෙළෙඳ සලේ සහායකයකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුද දැනට අතුරුදන්ව ඇති බවත් නිතර මෙම වෙළඳසලට ආ ගිය පුද්ගලයෙකු පිළිබඳවද විමර්ශන කටයුතු සිදු කරන බවත් බියගම පොලිසිය පවසයි. කැලණියසහකාර පොලිස් අධිකාරී සමන් පුස්වැල්ල, බියගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.සී. එල්. අමරසේකර, කැලණිය කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.බී. කහටපිටිය, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්. රාජපක්ෂ යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

- සුදත් පුබුදු කීර්ති -