හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඊයේ (11) දින රාත්‍රී පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුන අතර ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දහවල් ඇප මත මුදාහැරුණු බව පොලිසිය සදහන් කරයි.

ඔහු අත්අඩංගුවට ගන්නට සොයමින් තිබුනේ තම පියාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ඉල්ලා එක්තරා ව්‍යාපාරික පුද්ගලයෙකුගෙන්  බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමට තැත් කිරීම හා මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පසුගිය මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කිරීමට යැයි පවසමින් තලංගම ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂයක පමණ මුදලක් බලහත්කාරයෙන් ලබාගන්නට ඔහු තැත් කළේය.
පසුව ඒ ගැන ව්‍යාපාරිකයා පැමිණිලි කළ පසුව ඔහු පොලිසිය සොයද්දී අතුරුදන් විය.
 සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මාලක සිල්වා මහතා ඊයේ (11) රාත්‍රි 9 ට පමණ නීතීඥවරුන් දෙදෙනකු සමඟ තලංගම පොලීසිය වෙත පැමිණ තිබුණි.
පැමිනිලිකාර ව්‍යාපාරිකයා ඉකුත් ජූලි මස 16 වැනිදා තලංගම පොලීසියට මෙම පැමිණිල්ල සිදු කර තිබිණි. මෙම පැමිණිල්ල ලැබීමෙන් පසු මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට සෙවූ බවද පොලීසිය කියයි. මාලක සිල්වා මහතා සමඟ ඔහුගේ පියාවන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද තලංගම පොලීසිය වෙත පැමිණ සිටියේ යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. පසුගිය මහ මැතිවරණය සඳහා මර්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදි පරාජයට පත්විය.