දුර ඈත දූපතක හිරිගල් වැටිය සංරක්ෂණය කිරීම සඳහා ලොව කුඩාම පරිසර සංරක්ෂිතය ඇරඹීමට එක් බ්‍රිතාන්‍ය පවුලක් තම සුව පහසු නාගරික ජීවිතය අතහැර තිබෙන අතර ලන්ඩනයේ පිහිටි ඔවුන්ගේ නිවස විකුණා තිබේ.
කැරොලිනා සහ බැරී සීත් ඔවුන්ගේ කුඩා දියණියන් දෙදෙනාද සමඟ සීෂෙල්ස්හී පිහිටා තිබෙන අඩි 1300ක් සහ අඩු 980ක් දිගින් හා පළලින් යුත් කුඩා දූපතකට යෑමට සූදානමින් සිටින බව
ගුඩ් නිව්ස් නෙට්වර්ක් වෙබ් අඩවියෙහි සඳහන් කර තිබුණි.
ඔවුන් මේ සඳහා ස්වේච්ඡා ආයතනයක් පිහිටුවා තිබෙන අතර ඉහළ නඟින සාගර උෂ්ණත්වය හේතුවෙන් විනාශ වී තිබෙන කුඩාම අප්‍රිකානු රටේ හිරිගල් වැටිය පුනර්ජනනය කිරීම සඳහා දේශීය ජීව විද්‍යාඥයන් සමඟ එක්ව කටයුතු කරයි.
ඔවුන්ගේ ගොඩබිම පදනම් කරගත් කොරල් ගොවිපොළ ලෝකයේ තිබෙන එවැනි වර්ගයේ දෙවැන්න වේ. පළවෙනි තැන ගන්නේ ඕස්ට්‍රේලියාවේ තිබෙන මහා බාධක කොරල් පරයය. හිරිගල් වැටිය නැවත උත්පාදනය කිරීම සඳහා කොරල් නැවත වගා කිරීම මෙහිදී සිදු වේ.

බඳවාගැනීමේ උපදේශකයෙකු ලෙස සහ පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කර තිබෙන 47 හැවිරිදි බැරී මෙසේ පැවසීය. “අනෙකුත් බොහෝ පුද්ගලයන් ගත කරන ආකාරයේ ජීවිතයක් තමයි අපිත් ගත කරන්නේ. අපේ පවුලේ සිටින සැමියා, බිරිඳ සහ දරුවන් සාමාන්‍ය තැනැත්තන්. නමුත් අපි, අපේ දරුවන් සහ අප ජීවත් වන පරිසරය වෙනුවෙන් හොඳ ආකාරයේ වෙනසක් සිදු කළ යුතු බව අපට දැනුණා. ඒ නිසා අපි අපේ නිවස, ආයතනය සහ අපිට තිබුණු බොහෝ දේ විකුණුවා.”
සීත් පවුල නිවාඩුව ගත කිරීම සඳහා සීෂෙල්ස් දූපතට කිහිප අවස්ථාවකම ගමන් කර තිබේ. හිරිගල් වැටි ක්‍රමක්‍රමයෙන් පිරිහීමට ලක් වන අයුරු සමුද්‍ර තීරය වටා කිමිදීමේදී ඔවුන්ගේ අවධානයට ලක් විය.
“අපි එම ප්‍රදේශයට ගමන් කළ සෑම අවස්ථාවකම අපට දැකගන්නට ලැබුණේ කොරල් පර එන්න එන්නම විනාශ වන ආකාරයය” කියා බැරී පවසයි. “මේ බව සෑම සංචාරකයෙක්ම පවසනවා. ඔවුන් වෙරළට ඇලුම් කරනවා. නමුත් දැකගැනීමට ලැබෙන කොරල්පර පිළිබඳව ඔවුන් ඇත්තටම කනගාටු වෙනවා. ඔවුන් පැමිණෙන්නේ සාරවත් කොරල්පර නැරඹීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඔවුන්ට දැකගැනීමට හැකියාව ලැබෙන්නේ කැඩී බිඳී ගිය කොරල්ය.”
ලන්ඩනයේ බඳවා ගැනීමේ ආයතනයක අවුරුදු 15ක් පමණ සේවය කිරීමෙන් පසුව බැරීට සිතුණේ තම ජීවන ර‍ටාවේ වෙනසක් සිදු කිරීමට සහ පරිසර හිතකාමී ජීවිතයක් ගත කළ හැකි ආකාරයක් තම දියණියන්ට පෙන්වා දීමට කාලය එලඹ ඇති බවය.

ඉන්පසුව බැරී, ගොවිපොළ ඉදි කිරීම සඳහා සීෂෙල්ස් සාගර සංරක්ෂණ සංගමය සමඟ එක් විය. ටැංකි, ෆිල්ටර සහ බටමාර්ග ඇතුළු සියලුම පහසුකම් සහිතව මාස තුනකින් ගොවිපොළ ඉදි කිරීමට සැලසුම් යොදනු ලැබූ අතර ඒ සඳහා වියදම ලෙස පවුම් 25,000ක් වැය කිරීමට බලාපොරොත්තු විය.
එම ඉදි කිරීම් අවසන් වූ පසුව එය ඉන්දියන් සාගරයේ ප්‍රථම විශාල පරිමාණයේ ගොඩබිම පදනම් කරගත් කොරල් ගොවිපොළ බවට පත් වීමට නියමිතය. අවුරුද්දකට කොරල් 10,000ක් වගා කිරීමට එම ගොවිපොළ යොදාගැනීම සඳහා පරිසර භටයන් අදහස් කරගෙන සිටියි.

දේශීය හිරිගල් වැටියේ කොරල් රෝපණය කළ පසුව එම කොරල් මගින් හිරිගල් වැටියේ ජෛව විවිධත්වය පවත්වාගැනීමත් ගණන් බලා තිබෙන පරිදි කරන පරිදි සීෂෙල්ස් දූපත් සමූහයේ මුහුදේ හා ගල්පරවල දැනටමත් අහිමි වී ඇති කොරල් 250,000ක් නැවත පිරවීමටත් අපේක්ෂා කෙරේ.
“එය රැයකින් සියල්ල වෙනස් කළ නොහැකියි. ඒ සඳහා කිරීමට බොහෝ වැඩ තිබෙයි. නමුත් මෙම ප්‍රදේශයේ කොරල්පරවල ප්‍රධාන සහ හොඳ වෙනසක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු” කියා බැරී පැවසීය.
කොරල් නිසි පරිමාණයෙන් නිපදවීම සඳහා මෙම කණ්ඩායම විසින් “ක්ෂුද්‍ර ඛණ්ඩනය” ලෙස හඳුන්වන නවීන ක්‍රමවේදයන් උපයෝගී කරගැනීමට සැලසුම් කර තිබේ. ක්ෂූද්‍ර ඛණ්ඩනය යනු මෑතකදී සොයාගත් කොරල් වගා කිරීමේ ක්‍රමයක් වන අතර එමගින් වනාන්තරයේ සිදු වෙනවාට වඩා වර්ධන වේගය විශාල වශයෙන් ඉහළ දැමිය හැකිය.

අපගේ ශරීරයේ කැපීමක් සිදු වූ විට නැවත චර්ම සෛල වර්ධනය වේ. ඒ ආකාරයටම මෙම ක්‍රියාවලියේදීද සිදු කරන්නේ කොරලයක් ගෙන එය කුඩා කැබලිවලට කැපීමය. එමගින් වර්ධන වේගය උත්තේජනය වේ. සාමාන්‍යයෙන් කොරල්පර මේරීමට අවුරුදු 25ත් 75ත් අතර කාලයක් ගත වේ. ඉන් අදහස් කරන්නේ කොරල් 600ක් වගා කිරීමට පමණක් අවුරුදු 6ක් ගත වන බවය. නමුත් ඒවා වර්ධනය වන සාමාන්‍ය වේගය මෙන් 40 ගුණයකින් වර්ධන වේගය වැඩි කිරීමට ක්ෂූද්‍ර ඛණ්ඩනය නමැති ක්‍රමවේදය උපකාරී වේ.
ගල්වැටිවල කොරල් රෝපණය කිරීමට මාස 9කට පෙර ඒවා පාලනය කරන ලද උෂ්ණත්වයක් සහිත ටැංකිවල වගා කළ හැකිය. ටැංකි තුළ තිබෙන විට ඒවා වැඩි උෂ්ණත්වයටද නිරාවරණය කරයි. ස්වාභාවික වාසස්ථානයේ රෝපණය කිරීමෙන් පසුව නිතරම ඉහළ යන සාගර උෂ්ණත්වයට මුහුණ දීමට කුඩා කල පටන් එම කොරල්වලට පුහුණුවක් ලබා දීම මෙහි අරමුණය.

නව කොරල් වගා කිරීමේ ක්‍රම පිළිබඳව පුරෝගාමී පර්යේෂණ සිදු කිරීම සඳහා තම ටැංකි භාවිතා කිරීම පිළිබඳව එක්සත් රාජධානි විශ්වවිද්‍යාලය සමඟ සාකච්ඡා කිරීම සීත් පවුල විසින් දැනටමත් ආරම්භ කර තිබේ. පාසැල් සිසුන්ට සහ සංචාරකයන්ට අධ්‍යාපන චාරිකා සපයන අතරවාරයේ තම විද්‍යාගාර පරීක්ෂණ දියුණු කරගැනීමටද සීත්ගේ ව්‍යාපෘතිය විද්‍යාඥයන්ට උපකාරවත් වීමට ඉඩ තිබේ.
මෙම ගොවිපොළ ඉදි කිරීමට නියමිතව තිබෙන්නේ සීෂෙල්ස්හි විශාලම දූපත වන මහේ වෙරළට ඔබ්බෙන් පිහිටි වන මොයියන් දූපතේය.
2012දී මොයියන් දූපතේ සිටි එකම පදිංචිකරු වන බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සහ විශ්‍රාමලත් පුවත්පත් සංස්කාරකවරයෙක් වන බ්‍රෙන්ඩන් ග්‍රිම්‍ෂෝ මිය ගිය පසු එය ලොව කුඩාම ජාතික වනෝද්‍යානය ලෙස නම් කරන ලදි. 1962දී මෙම දූපත පවුම් 8000කට මිල දී ගත් ග්‍රිම්‍ෂෝ එහි දශක 4ක් දිවි ගෙවා තිබේ. මෙම කාල සීමාවට පුරාවට ඔහු වෘක්ෂ දහස් ගණනක් එහි සිටුවා ඇති අතර අදටත් එම ප්‍රදේශයේ දැකගත හැකි යෝධ ඉබ්බන්ව හඳුන්වා දී තිබෙන්නේ ඔහු විසින්ය.

“මෙම දූපතට විස්මිත අතීතයක් තිබෙනවා. මෙම දූපත හෝටල් කණ්ඩායම් සහ ධනවත් පුද්ගලයන්ට බ්‍රෙන්ඩන්ගෙන් මිල දී ගැනීම අවශ්‍ය වූ බවට කතා තිබෙනවා. ඕනෑම මිලක් ඒ වෙනුවෙන් නියම කරන ලෙස එම පුද්ගලයන් බ්‍රෙන්ඩන්ට පැවසූවද ඔහු එය සෑම විටම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම දූපත සංවර්ධනය කිරීම ඔහුගේ අවශ්‍යතාවය නොවීය.”
“අපේ මුල්ම කොරල් ගොවිපොළ ලෙස මෙම දූපත තෝරාගැනීමෙන් බ්‍රෙන්ඩන්ගේ උරුමයට ගරු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”
සීෂෙල්ස්හි තිබෙන්නේ සංචාරක කර්මාන්තය පදනම් කරගත් ආර්ථිකයක්ය. නමුත් නව කොරෝනා වෛරස් වසංගතයේ බලපෑම හේතුවෙන් මෙම ආර්ථිකය කඩා වැටී තිබුණද කොරල්පර නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී නැගෙනහිර අප්‍රිකානු සංචාරකයන් මෙහි පැමිණේවි යැයි අපේක්ෂා කරන බව සීත් පවුල පවසයි. මීට අමතරව ලොව පුරා තවත් කොරල් ගොවිපොළවල් පිහිටුවීමට මෙම ගොවිපොළේ සාර්ථකත්වය දායක වේවි කියා මෙම කණ්ඩායම බලාප‍ොරොත්තු වේ.

“අපගේ දිගු කාලීන ඉලක්කය වන්නේ කුඩා ආයෝජනයක් මගින් සාගර පරිසරය කෙරෙහි විශාල බලපෑමක් එල්ල කිරීමට ඕනෑම පුද්ගලයෙකුට හැකි බවත් එහි ප්‍රතිඵලයන් ලෙස සංචාරක කර්මාන්තයෙහි දියුණුවක් ඇති වන බවත් සියලුදෙනාටම පෙන්වීමය. මේ සඳහා ඔබ මොළකාරයෙක් වීම අවශ්‍ය නොවේ” බැරී පැවසීය.

මෙම ව්‍යාපෘතියේ වගකීම් තමන් අතරේ බෙදාගැනීමට සීත් පවුල සැලසුම් කරමින් සිටියි. කැරොලිනාට පැවරී තිබෙන්නේ දියණියන්ගේ වැඩ කටයුතු සිදු කරන අතරවාරයේදී මෙම ව්‍යාපෘතිය සඳහා සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධ කරගැනීමය. ඔවුන්ගේ 11 හැවිරිදි දියණිය වන ජෝජියානා සහ 7 හැවිරිදි ජොසෆින් මොයියන් දූපතේ සිට විනාඩි 15ක බෝට්ටු ගමනක දුරින් පිහිටි මාහේ දූපතේ නව පාසැලක ඉගෙනුම ලබන අතරවාරයේ ඔවුන් තරුණ තානාපති වැඩසටහනකට සහභාගි වේ. මේ නිසා බැරී ගොවිපොළ තුළ පූර්ණකාලීනව වැඩ කරන්නේ නැත.

මෙම අලුත් වික්‍රමය පටන්ගන්නා තෙක් දියණියන් දෙදෙනා බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. “මට මගේ මිතුරන්ව මඟහැරෙනවා. ඒත් බොහෝ සතුන්ව දැකබලා ගැනීමටත් කිමිදීමටත් කොරල් රැකබලාගැනීමට මගේ පියාට උපකාර කිරීමටත් මම ආශාවෙන් බලා සිටිමි” ජොසෆින් පැවසීය.
මෙම ව්‍යාපෘතියට උපකාර කිරීම සඳහා කිමිදීමට ඉගෙනගැනීමට ජෝර්ජියානාට අවශ්‍යය. “විදෙස්ගත වෙන්න සහ ලෝකය පිළිබඳ තවත් ඉගෙනගන්න ලැබුණු මේ අවස්ථාව ගැන මම ගොඩක් සතුටු වෙනවා. අපිට වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා මම බලාප‍ොරොත්තු වෙනවා.”
පිටත් වීම සඳහා සැලසුම් කර තිබෙන්නේ අගෝස්තු මාසයේදී වුවද ඊට පෙර කොරෝනා වෛරසය හේතුවෙන් පනවා තිබූ සීමා තහංචි ලිහිල් කිරීම හේතුවෙන් ජාත්‍යයන්තර ගුවන් යානා ලබාගත හැකි වේවි කියා සීත්වරු බලාප‍ොරොත්තුවෙන් පසු වෙති. ඒ වන තෙක් ඔවුන් එක්සත් රාජධානි කොරල්පර සංරක්ෂණය කිරීමේ ආයතනය ලෙස හඳුන්වන ලාභ නොලබන ස්වේච්ඡා ආයතනයක් පිහිටුවීමේ සහ තනිපුද්ගලයන්ගෙන් හා ආයතන මගින් පරිත්‍යාග ලබාගැනීමේ යෙදී සිටියි.
මුල් අවුරුදු දෙකෙහි වියදම සඳහා සීත් පවුලට දැනට එම දූපතේ අයිතිකරු මගින් පවුම් දෙලක්ෂයක් ලැබී ඇති බව සඳහන්ය.

දැනට තම අවශ්‍යතා සපුරාගැනීම සඳහා මෙම පවුලට ප්‍රමාණවත් මුදල් තිබුණද මෙම ව්‍යාපෘතියේ වියදම පියවාගැනීම සඳහා තවත් පරිත්‍යාගයන් ඔවුන්ට අවශ්‍ය වී තිබේ.
“අපට මෙම ගොවිපොළ ඉදිකිරීමට වැය වූයේ ඔබ සිතනවාට වඩා අඩු මුදලක්. හේතුව අපි වැඩ කරන්නේ නොමිලේ, වැඩ කුලී නැහැ. ඒ වගේම මෙම ඉඩමේ අයිතිකරු ගොඩනැඟිලි වියදම සඳහා ගෙවීමට එකඟ විය. එමනිසා අඩු මුදලක් වැය කිරීමෙන් විශාල වෙනසකට දායක වෙන්න ලැබීම වරප්‍රසායක්” බැරී අදහස් දැක්වීය.
“මෙම අවස්ථාව මගින් හොඳ බලපෑමක් ඇති වීම පිළිබඳව අපට සතුටුයි. අපට උපකාර කිරීමට අනෙකුත් පුද්ගලයන්ට හැකි වේවි කියා අප බලාපොරොත්තු වෙනවා.”

(“ගුඩ් නිව්ස් නෙට්වර්ක්” ඇසුරිනි)
එස්.දහනායක