විදේශගත ශ්‍රමිකයන් ලක්‍ෂ විස්සකට ආසන්න පිරිසකට හා රෝහල්ගතව සිටින සහ මැතිවරණ දින අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු කරන පෞද්ගලික අංශ සේවකයන්ට මෙවරත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි. විදේශගතව සිටින මෙරට ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ
ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට සමාජය තුළ වසර ගණනාවක සිට කතාබහක් ඇති වී තිබුණද, මෙතෙක් ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කර ගැනීමට නොහැකි වී තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මීට අමතරව රෝහල්ගතව සිටින පිරිස්වලට හා අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු වෙනුවෙන් ඡන්දය දිනයේ රාජකාරී කටයුතු කරන පෞද්ගලික අංශ සේවකයන්ටත් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා තවමත් ක්‍රමවේදයක් සකස් කර ගැනීමට නොහැකි වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය. මේ නිසා ඉදිරි පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතම කාර්යක් සේ සලකා මීට අදාළ ක්‍රමවේද සකස් කළ යුතු බවත්, මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්‍ෂකයන් හෝ ප්‍රචාරක කටයුතු කිරීමේ වර්තමානයට ගැළපෙන ක්‍රමයක් සකස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය. මැතිවරණයක් ආසන්නයේදී මෙවැනි දේවල් ගැන සංවාද ඇති කර ගැනීමෙන් ඵලක් නොවන බවත්, ඒ නිසා පාර්ලිමේන්තු නිල කාලය තුළදී අදාළ කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත් විධායක අධ්‍යක්‍ෂවරයා පවසා සිටියේය.

-එච්.අයි.තුෂාර-