පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අලුතින්ම හමුවූ
කොරෝනා රෝගියාගේ ආශ්‍රිතයන් පවුල් 19කට අයත් 90 දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔවුන් සියලු දෙනා සිය නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් පොළොන්නරුව ප්‍රාදේශීය
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබලිව්.කේ.ඩබලිව්.එස්. කුමාරවංශ මහතා ඊයේ(3) පැවැසීය.


ඔවුන් සියලුම දෙනා පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව ද ඒ මහතා කීය.
පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරන සිවිල් ආරක්ෂක භටයකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණවලින් පෙරේදා (2) දිනයේ තහවුරු කරගෙන තිබිණි.

එම සිවිල් ආරක්ෂ භටයාගේ බිරිඳ සහ දියණිය දැනට පී.සී. ආර්. පරීක්ෂණ සඳහා යොමු කර පොළොන්නරුව මහ රෝහලේ කොවිඩ්-19 සැකකටයුතු අය රඳවා තබන වාට්ටුවක නේවාසිකව සිටින බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

(පොළොන්නරුව- ක.ග කරුණාරත්න)