මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තේ රාජ්‍ය හා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් එක්ව සිදුකළ සාර්ථක මෙහෙයුමකින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ පැවසීය. සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ සැගවී සිටි
ස්ථානය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත බුද්ධි අංශ නිලධාරීන්  උපක්‍රමශීලී ලෙස ඔහු එම ස්ථානයෙන්  ඉවතට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේය. සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ ස්ථානයක සිටින බවට තාක්ෂණික ක්‍රම මගින් හා දුරකථන විශ්ලේෂණ මගින් තහවුරු කරගත් බවත් පසුව ඔහු උපක්‍රමශීලීව  එම ස්ථානයෙන් ඉවත්කරවා ගෙන පොලිස් භාරයට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මත්කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මිගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගේ කාමරවලට ශීතකරණයක්, මයික්‍රෝවේ උදුනක්, බත් පිසිනයන් දෙකක්, (රයිස් කුකර්) ලබා දී තිබූ බව හිටපු අධිකාරිට  එරෙහිව චෝදනා එල්ල වී තිබූ බවද පොලිස්  මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් පැය මෙම සිද්ධිය හෙළිවීමත් සමගම ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යොදවා පරික්ෂණ ආරම්භ කළ බවද හෙතෙම පැවසිය. මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව හෙළි වූ තොරතුරු මත නීතිපතිවරයාගේ උපදෙස් අනුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ බවද බවද ජාලිය  සේනාරත්න මහතා කීය. ඒ අනුව සම්පයෝ ඇතුළු සැකකරුවන් සිවුදෙනකු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකළ බවත් ඔවුන් සිවු දෙනාට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරුණු බවත් ජාලිය සේනාරන්ත මහතා පැවැසීය.

වරෙන්තු නිකුත් කෙරුණු සෙසු බන්ධනාගාර නිලධාරින් සිවුදෙනා අවස්ථා දෙකකදී අධිකරණයට භාරවීමෙන් පසුව  ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කළ බව ද හෙතෙම කීය. මොවුන් බන්ධනාගාරගතව සිටින සැකකරුවන් ඔවුන් කැමැති වෙනත් බන්ධනාගාර වෙත මාරුකිරිම සඳහා ඥාතීන් වශයෙන් පෙනී සිටිමින් කූඨ ලේඛන සකස්කර ලිපි යොමුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් ඒ සම්බන්ධවද පරික්ෂණ කරන බවත් ඔහු කීවේය.

මන්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගේ කාමරවලට නීති විරෝධී භාණ්ඩ ලබාදී පහසුකම් සැපයීම, මේ සම්බන්ධයෙන් කූඨ ලේඛන සැකසීම, ඉහත වැරැදි සඳහා ආධාර අනුබලදීම යටතේ ඔවුන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා සංවිධානාත්මක අපරාධකරුවන්ට මේ ආකාරයෙන් නීති විරෝධි ලෙස පහසුකම් ලබාදී මොවුන් මුදල් උපයාගෙන ඇද්දැයිද යන්න සොයාබැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එහිදී නීති විරෝධී ආකාරයෙන් මුදල් උපයාගෙන ඇති බවට හෙළිවුවහොත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මොවුන්ට විරුද්ධව ක්‍රියාකරන බවත් ජාලිය සේනාරත්න මහතා පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා මේ බව පැවැසුවේ, පොලිස් මූලස්ථානයේ ඊයේ (23) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ය. එහිදී මාධ්‍යවේදීන් ජාලිය සේනාරත්න මහතා ගෙන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය- සම්පයෝ මහතා අත්අඩංගුවට ගත්තේ පොලිස් බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් කියලා ඔබ කියනවා. නමුත් පළාත් පාලන ආයතන ප්‍රධානියකුගේ සොහොයුරෙකු සහ දේශපාලනඥයකුගේ ආධාරකරුවකු මොහු මෝටර් රථයකින් රැගෙන විත් පොලිසියට බාරදුන් බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මොකක්ද ඇත්ත?

පිළිතුර-පොලිසිය උපක්‍රමශීලීව තමයි ඔහු එම ස්ථානයට ගෙන්වාගෙන මෙම අත්අඩංගුවට  ගැනීම සිදුකර තිබුණේ. පොලිසිය මුලින්ම ඔහු ඉත ස්ථානය හඳුනාගත්තා. පසුව උපක්‍රමශීලීව එම ස්ථානයෙන් එළියට ගෙන්වාගෙනයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළේ.

ප්‍රශ්නය- අනුරුද්ධ සම්පායෝ සහ මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා පාසල් මිතුරන් නේද? මේ අත්අඩංගුවට ගැනීම ඒ අයගේ සැලසුමක්ද?

පිළිතුර- එම හැඳුනුම්කමත් ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුවුණා. සම්පායෝ මහතාගේ අනුගාමිකයන් මගින් ඔහු කිසියම් රැවටීමකට හසුකර ඔහු රැඳී සිටි ස්ථානයෙන් ගෙන්වා ගත්තා යැයිද කීය.