හිමා සහ අනන්යා ඉගෙනුම ලබන්නේ දකුණු ඉන්දීය ප්‍රාන්තයක් වන පන්ජාබයේ කුඩා පෞද්ගලික පාසැලක එකම පන්තියේය.
එම සිසුන් දෙදෙනාම දක්ෂ සිසුන් බවට ගුරුවරු පවසති. නමුත් ඔන්ලයින් පන්ති ආරම්භ වීමෙන් පසුව ඔවුන් දෙදෙනාට ඉන්දියාවේ ඩිජිටල් බෙදීමේ අන්ත දෙකක සිටීමට සිදු විය.

නාගරික ප්‍රදේශයක ජීවත් වන අනන්යාට නිවසේ වයි-ෆයි පහසුකම තිබේ. එමනිසා ඇයට පහසුවෙන්ම ඔන්ලයින් පන්තිකාමරයට ලොගින් වී එම පාඩම් ඉගෙනගැනීමට හැකියාව පවතියි.
“මේක නියම අත්දැකීමක්. පන්තිත් හොඳින් කෙරෙනවා. මෙය දැන් අපේ පාසැලයි” ඇය බීබීසී වෙත අදහස් දැක්වීය.
නමුත් ගම්මානයක ජීවත් වන මහිමාට නම් එය එසේ නොවේ.
ඊට එක් හේතුවක් වන්නේ ඇගේ නිවසේ වයි-ෆයි පහසුකම නොමැති වීමය. ඒ වෙනුවට ඉන්දියාවේ ගම්බද පළාත්වල සහ කුඩා නගරවල තිබෙන දුරකථන 4G සිග්නල් මත ඇය රඳා සිටී. නමුත් හොඳින් සිග්නල් ලැබෙන්නේ ඇගේ නිවසට යාබදව ඇති වහලක් නොමැති කොටසකටය. එම නිසා පිළිස්සෙන කාෂ්ටකේ පාඩම් ඉගෙනගැනීම හැර ඇයට වෙනත් පිළියමක් නොමැතිය. එතැනට ගියද ඇතැම්විට ඇයට ඔන්ලයින් පාඩම්වලට හවුල් වීමට නොහැකි වන බව ඇය පවසයි.
 “ඇතැම්විට මට සම්පූර්ණයෙන්ම පාඩම් මඟ හැරෙනවා. ගුරුවරිය එවන ඔන්ලයින් වීඩියෝ මට බලන්න විදිහක් නැහැ. ඩවුන්ලෝඩ් කරගැනීම විශාල ගැටලුවක්. අපට විදුලි බලය ලැබෙන්නේ දිනකට පැය කිහිපයක් පමණයි. එම නිසා ජංගම දුරකථනය චාජ් කර තබාගැනීමද අභියෝගයක්” ඇය පවසයි.
“පසුගිය මාස එකහමාර තුළ මට කලාතුරකින් පන්ති 10-12කට සහභාගි වෙන්න ලැබුණේ. අතපසු වෙන වැඩ ගැන ඇතැම්විට මට ඇ‍ඬෙනවා. මම ඉන්නේ විෂය නිර්දේශයේ ගොඩාක් පසුපසින්.”
ඔන්ලයින් පන්ති පැවැත්වීම සාර්ථක ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබුණද අන්තර්ජාල පහසුකම්වල සමානාත්මතාවක් නොතිබීම හේතුවෙන් මෙම ක්‍රමය ස්ථානය සහ නිවසේ ආදායම මත රඳා පවතින කාරණයක් බවට පත් වී තිබේ.

ලොව දෙවෙනි විශාලතම අන්තර්ජාල පරිශීලකයන් සිටින රට ඉන්දියාව වන අතර එය මිලියන 630ක්ය. නමුත් විශේෂයෙන්ම ස්ථාවර අන්තර්ජාල මාර්ගයක් වෙනුවට මොබයිල් ඩේටා ප්‍රධාන වශයෙන් භාවිතා වීම නිසා අන්තර්ජාල සබඳතාවලදී ගැටලු මතු වේ.
නිතරම සිග්නල් අඩු වැඩි වීම හේතුවෙන් ඔන්ලයින් වීඩියෝ බාධාවක් නොමැතිව ප්ලේ කිරීම අපහසුය. විදුලි සැපයුමද අස්ථාවරයි. එම නිසා නිතරම ඉලෙක්ට්‍රොනික උපකරණයේ බැටරි බැසීම ගැටලුවක් වී තිබේ.
ඉන්දියාවේ අධ්‍යාපනය අධ්‍යක්ෂණය කරන රාජ්‍ය නියෝජිතයෙක් මෑතකදී මෙම කරුණු මානව සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ අවධානයට යොමු කර තිබේ.

ඉන්දියාවේ මධ්‍යම ප්‍රාන්තයක් වන ජාර්ඛාන්ද්හි සියයට 30කම දුර්වල අන්තර්ජාල සබඳතා තිබෙන බවත් ඊසානදිග අරුනාචල් ප්‍රදේශ්හිද තත්ත්වය එසේම බවත් මෑතකදී ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතේ සඳහන් විය.
තවත් ගැටලුද තිබේ. ඉන්දියානුවන් අන්තර්ජාලයට පිවිසීම සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ ජංගම දුරකථනය. එම නිසා බොහෝ සිසුන් පන්ති සඳහා සම්බන්ධ වෙන්නේ ලැප්ටොප්වලින් නොව ජංගම දුරකථනවලින්ය. දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝ පවුල්වලට තිබෙන්නේ එක් ජංගම දුරකථනයක් පමණය. එමෙන්ම එය භාවිතා කිරීමට අවස්ථාව ලැබීමද අවිනිශ්චිතය. මේ අතරේ කිසිම ඉලෙක්ට්‍රොනික උපාංගයක් ලබාගැනීම අපහසු පුද්ගලයන්ද සිටියි.
එක් පවුලකට ජංගම දුරකථනයක් හෝ රූපවාහිනියක් (විශේෂ අධ්‍යාපන නාලිකාවක පාඩම් විකාශනය කරනවා) මිල දී ගැනීමට නොහැකි වීම හේතුවෙන් කේරළයේ එක් යෞවනියක් සිය දිවි හානි කරගෙන ඇති බවද වාර්තා වේ.
ඇගේ පියා වාර්තාකරුවෙකුට පවසා තිබෙන්නේ ඔහු දිනපතා ආදායම උපයන පුද්ගලයෙකු බවත් ඉහත කී එක් දෙයක්වත් මිල දී ගැනීම අපහසු වූ බවත්ය.

“ඔන්ලයින් පන්තිවලට සහභාගි වෙන්න බැරි වෙයි කියලා ඇය බොහෝ කනස්සල්ලෙන් සිටියේ. ගුරුවරුන් යම් විසඳුමක් සොයාගනියි කියා මම ඇයට පැවසුවත් ඇය ගොඩක් කනගාටුවෙන් හිටියේ” පියා පවසයි.
නීතිඥවරයෙකු සහ තාක්ෂණික ප්‍රතිපත්ති අධ්‍යයනය කරන පුද්ගලයෙකු වන ස්ම්‍රිතී පර්ශීරා බීබීසී වෙත පැවසුවේ, “සෑම ශිෂ්‍යයෙකුවම එකවර ඔන්ලයින් පමණක් වූ ක්‍රමයක් සඳහා ඇද දැමුණු විට මේ සඳහා ශිෂ්‍යයෙකුට සම්බන්ධ වීමේ හැකියාව තීරණය වීම සඳහා තාක්ෂණික උපකරණ වර්ගය සහ පවුලක් සතු එම උපකරණ ගණන හේතු සාධකයක් විය. මෙහි එක් අන්තයක් වන්නේ කිසිම තාක්ෂණික උපාංගයක් නොමැති පුද්ගලයන් සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයෙන් ඉවත් වීම. රජයේ පාසැල්වල බොහෝ සිසුන්ට මීට මුහුණ දීමට සිදු වී තිබෙනවා.”

 මෙහිදී බලපෑම් ඇති කරන්නේ අන්තර්ජාලයට පිවිසීමේ පහසුකම් තිබෙනවාද යන්න පමණක් නොව එසේ පිවිසෙන ආකාරයද බලපායි.
“ජංගම දුරකථනයකින් ඔන්ලයින් පන්ති සඳහා සම්බන්ධ වීමේදී සහ පරිඝනකයක් හෝ ලැප්ටොප් එකක් ආධාරයෙන් සම්බන්ධ වීමේදී ලැබෙන පරිශීලක අත්දැකීම් අතර පැහැදිලි වෙනසක් තිබෙනවා.”
රජයෙන් සහ තවත් සිවිල් සංවිධාන මගින් මෙම කාරණයට විසඳුම් සෙවීමට උත්සාහ කර ඇති බව සඳහන්ය.
කේරළයේ ඇති වූ සිදු වීමක් හේතුවෙන් සංවිධාන දෙකක් මගින් සිසුන්ට රූපවාහිනී කට්ටල ලබා දීමට කටයුතු යොදා ඇති බවද සඳහන්ය.
“ඇතැම් නිවෙස්වලට, විශේෂයෙන්ම ගෝත්‍රික ජන කොටස් සඳහා විදුලි බලය ලැබෙමින් පවතිනවා” එක් අයෙක් බීබීසී වෙත පැවසීය.
නමුත් අන්තර්ජාලයට පිවිසීමේ පහසුකම ලබාගැනීමට රට තුළ දක්නට ලැබෙන පරතරය තවමත් පවතින බව සඳහන්ය.

මේ හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය යනු කොහෙත්ම සාධාරණ ක්‍රමයක්දැයි ඇතැම් විශාරදයෝ ප්‍රශ්න කරති.
අධ්‍යාපන වැඩසටහන් සඳහා අරමුදල් සපයන අසීම් ප්‍රේම්ජි පදනමේ විධායක අනුරග් බෙහාර්ද ඒ අතර වෙයි.
“ඔන්ලයින් හරහා දරුවන්ට ඵලදායී ලෙස අධ්‍යාපනය ලබා දිය නොහැකිය. මෙම ක්‍රමය මගින් අධ්‍යාපනයට විශාල හානියක් වන අතර අසමානතා උග්‍ර වේ” ඔහු බීබීසි වෙත පැවසීය.
අඩු පහසුකම් සහිත බොහෝ සිසුන්ට නිවසේ ඔන්ලයින් අධ්‍යාපනය ලබාගැනීමට උපකාර කිරීමට කිසිවෙකු නොමැති අතර තවත් සිසුන් දිවි ගෙවන්නේ ජීවන අරගලයක යෙදෙන, තවත් අභියෝග සමඟ පොරබැදිය නොහැකි පවුල්වල බව ඔහු සඳහන් කළේය.
“මෙම අත්‍යවශ්‍ය අවශ්‍යතා අප ග්‍රහණය කරගන්නේ නැත්නම් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව කරදර වීමේ ඵලක් නැත.”

(Sat Singh, Imran Qureshi and Ayeshea Perera තොරතුරු සැපයූ බීබීසී වාර්තාවක් ඇසුරිනි)
එස්. දහනායක