නුවරඑළිය ප්‍රදේශයට ඊයේ (04දා) පැවති දැඩි සුළං තත්වය හේතුවෙන් කිකිලියාමාන ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක් අසල පිහිටි නිවාස පේළියක් මතට ගසක් කඩා වැටීමෙන් නිවාස තුනක පදිංචි කුඩා දරුවන් දෙදෙනෙක් හා කාත්තාවක් තුවාල ලබා සිටිති.  මේ හේතුවෙන් නිවාස එම නිවාසවලට දැඩි අලාභ හානි සිදු වී
ඇති අතර, ඒවායෙහි පදිංචි පවුල් තුනකට අයත් සමාජිකයන් 17 දෙනෙකු තාවකාලිකව ඔවුන්ගේ ඥාති නිවාසවල නතර කර ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

අදාළ ගස් කපා ඉවත් කරන ලෙසට බලධාරින් දැනුවත් කළ ද එයට  මෙතෙක් විසදුමක් ලබා  නොදීම නිසා මෙම තත්වයට තමන්ට මුහුණදීමට සිදු වූ බව එම නිවාසවල පදිංචිකරුවෝ පැවසූහ. මේ අතර බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් මැද්දෙකන්ද වතු යායේ වෙක්නෝල් කොටසේ නිවසක් මතට ඊයේ (04දා) අලුයම විශාල නුග ගසක් සහ බෝ ගසක් කඩා වැටීමෙන් එහි පදිංචි අඹුසැමි යුවළක තුවාල ලබා තිබේ. මේ හේතුවෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදුව ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ අඹුසැමි යුවළට  ප්‍රතිකාර සදහා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර සිටිති. බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් එච්.එම්. හේමන්ත  බණ්ඩාර මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හෙතෙම පැවැසුවේ නිවසට සිදුව ඇති අලාභය ඇස්තමේන්තු කර සහන සැලසීමට කටයුතු කරන බවයි.


-රංජිත් රාජපක්ෂ-