කොවිඩ්-19 ආරම්භය තවමත් සහතික කර නොමැති අතරේ පර්යේෂණ සිදු කරන සංවිධාන මගින් පරිසර හානිය සහ වසංගතය අතර තිබෙන සබඳතාවය සොයාගැනීමට වෑයම් කරයි. නමුත් කෝවිඩ්-19 ඇති වීමට පෙරද වසංගත බියකින් ජීවත් වූ පිරිසක්ද වේ. ඒ ආදිවාසී ජනතාවයි. පරිසර විනාශය අසනීපවලට මඟ පාදන බව ඔවුන්ගේ සම්ප්‍රදායික දැනුම සහ ස්වාභාවික පරිසරය සමඟ ඔවුන්ට
ඇති සබැඳියාව ඇසුරින් ඔවුහූ දැන සිටියහ.
මෙම වසංගතයට එරෙහිව සටන් වදින කාලයේදී ආදිවාසි ජනතාව සහ ඔවුන්ගේ දැනුම ආරක්ෂා කිරීම වැදගත්ය. ඔවුන් ජීවත් වන්නේ ලොව ජෛව විවිධත්වයක් දක්නට ඇති ප්‍රදේශවල වන අතර පරිසරය සමඟ තිබෙන සබැඳියාව නැවත සමබර කරගත හැකි වන්නේ කෙසේද කියාත් ඉදිරි වසංගත තත්ත්වයන් ඇති වීමේ අවදානම අඩු කරගත හැකි අයුරුත් ඉගැන්වීමට ඔවුන්ට හැකිය. ආදිවාසී ජනයාද මෙම වසංගතයට ඔවුන්ගේම කියා විසඳුමක් සොයන බව සඳහන්ය. ස්වේච්ඡාවෙන් වෙන් වී සිටීම, ඔවුන්ගේ ප්‍රදේශ සීල් තැබීම වැනි ක්‍රම සහ සම්ප්‍රදායික දැනුම ඔවුන් භාවිතා කරන බව සඳහන්ය.

ආදිවාසී ජනතාව ජීවිතයේ බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන අතර මෙම වසංගත තත්ත්වය හේතුවෙන් ඔවුන් මුහුණ පාන එවන් අභියෝග තවත් දරුණු වී තිබේ. නමුත් ඔවුන් මෙම වසංගතයට ශක්තිමත්ව මුහුණ දෙන බව සඳහන්ය. ආදිවාසි ජන කොටස්වලට සෞඛ්‍ය සේවාවන්, අතවශ්‍ය සේවාවන්, සනීපාරක්ෂක පහසුකම්, පිරිසිදු ජලය, සබන්, විෂබීජ නාශක වැනි දෑ හිඟය. එමෙන්ම බොහෝ විට ඔවුන් ජීවත් වන ප්‍රදේශවලට ආසන්නව තිබෙන වෛද්‍ය මධ්‍යස්ථානවල පහසුකම් හෝ කාර්ය මණ්ඩලයටද අඩුය. ඔවුන් යම් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට ගියද එහිදී අසාධාරණකම්වලට මුහුණ දෙන බව වාර්තා වේ.

එම ආදිවාසීන් කතා කරන භාෂාව යොදාගනිමින් ඔවුන්ට සේවාවන් ලබා දීම වැදගත්ය. ඉතිහාසය පුරාවට ආදිවාසී ජනතාව තමාට ප්‍රතිශක්තියක් නොතිබූ විවිධ රෝගාබාධ හේතුවෙන් මහත් විනාශයන්ට මුහුණ දී තිබේ. මේ දිනවල පවතින වසංගතයට පෙරද ඔවුන් බොහෝ අසමානතාවලට සහ අසාධාරණයට මුහුණ දී තිබේ. සෞඛ්‍ය පහසුකම්වලට පිවිසීමට නොහැකි වීම, පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම ඔවුන්ට ඇති අවදානම ඉහළ නංවයි.

කෙසේ වුවද මෙම පිරිස් තුළ ගැටලුවලට මුහුණ දීමේ ශක්තියක් දැකගත හැකිය. ඊට එක් හේතුවක් ලෙස සැලකෙන්නේ ඔවුන්ගේ සම්ප්‍රදායික ජීවන රටාවය. ‍නමුත් වෛරසය පැතිර යන මේ කාලයේදී ඔවුන්ට අවදානමක් ඇති වීමටද එම ජීවන රටාව හේතු විය හැකිය. උදාහරණයකට ආදිවාසි කණ්ඩායම් නිතිපතා විවිධ විශාල සම්ප්‍රදායික උත්සව පවත්වයි. ඇතැම් ආදිවාසීන් ජීවත් වන නිවෙස්වල පරම්පරා කිහිපයක් දිවි ගෙවයි. එමගින් එම පවුල්වල වැඩිහිටියන්ද අවදානමකට මුහුණ දේ.

ආදිවාසී පවුල්වල දරුවන්ට අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු සිදු කළ නොහැකි වීම ඔවුන් මුහුණ පාන තවත් ගැටලුවක්ය. එමෙන්ම නීතිවිරෝධී කැණීම් සිදු කරන පුද්ගයන්ගෙන් ඔවුන්ගේ බිම්කොටස්වලට බාධා එල්ල වී තිබේ. පරම්පරාවෙන් උරුම වූ බිම් කොටස් සහ ප්‍රදේශ අහිමි වීම සහ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ආදිවාසි ජනතාව ආහාර ගැටලුවලටද මුහුණ පායි. ආහාර ලබාගැනීම ඔවුන්ට සටනක් වී තිබේ. තම වගා බිම් මත පදනම් ආර්ථිකයක් ඔවුන්ට තිබුණද ඒවා අහිමි වීම හේතුවෙන් ඔවුන් වෙනත් සම්ප්‍රදායික රැකියාවල සහ යැපුම් ආර්ථික ක්‍රමයක් අනුගමනය කරයි. වසංගතය මධ්‍යයේ මෙයට විශාල බලපෑමක් එල්ල වී තිබේ.

පවුලට මූලිකවම ආහාර සහ පෝෂණය සැපයීමේ වගකීම හිමි ආදිවාසී කාන්තාව මුහුණ පාන්නේ දැඩි අර්බුදයකටය.
ආදිවාසි ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව දැනුවත් කිරීම සෑම වසරකම අගෝස්තු 9වන දිනට යෙදී ඇති ලෝක ආදිවාසි දිනයේදී සිදු වන බව සඳහන්ය. විශේෂයෙන්ම මෙම වසංගතය මධ්‍යයේ ඔවුන්ගේ සම්ප්‍රදායකි දැනුම සහ බුද්ධිය අපට අවශ්‍ය බව “‍ඩේලි නිව්ස්” වාර්තා කරයි. ලෝක ආදිවාසි දිනයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරස් පවසා තිබෙන්නේ “කෝවිඩ්-19 ලොව පුරා මිලියන 476ක ආදිවාසි ජනතාවට බලපෑමක් කර තිබෙන” බවය.

බොහෝ ආදිවාසීන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල ගොදුරක් වී තිබෙන බවත් බොහෝදෙනෙකුට ඒ හේතුවෙන් ජීවිත අහිමි වී තිබෙන බවත් සඳහන්ය. මෙවැනි අවදානම් යටතේ ආදිවාසීන් අසාමාන්‍ය ප්‍රතිරෝධයක් දක්වන බව සඳහන්ය.
තම බිම් කොටස්, ප්‍රදේශ සහ සම්පත්වල ස්වයං පාලනයක් තිබෙන ආදිවාසීන්ට ආහාර ලබාගැනීමටද සම්ප්‍රදායික ඖෂධ ලබාගැනීමටද හැකියාව තිබෙන බව වාර්තා වේ. ලොව පුරා ජීවත් වන විවිධ ආදිවාසී කණ්ඩායම් මෙම වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ඔවුන්ටම ආවේණික වූ ක්‍රම භාවිත කරන අයුරු දැකගත හැකිය.
ආදිවාසීන්ගේ අයිතීන් අවබෝධ කරගැනීම යනු කෝවිඩ්-19 වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයන්ට ඔවුන්වද දායක කරගැනීමයි.
( “ඩේලි නිව්ස්” ඇසුරිනි)
එස්.දහනායක