උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව දෙමළ ජනතා ජාතික එකමුතුවේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙයි.
ඔවුන් වෙනුවෙන් තමන් මෙන්ම තම එකමුතුවද ඕනෑම අවස්ථාවක පෙනී සිටීමට සූදානම් බවද ඔහු අවධාරණය කරයි. විග්නේෂ්වරන් මහතා මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා (5 වැනිදා) පැවති මහ මැතිවරණයෙන් ජය ගැනීමෙන් පසුව සිය ජයග්‍රහණය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරී පත්වීමට මා හට ඡන්දය ලබාදුන් සියලුම ජනතාවටත් ඒ වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කළ දෙමළ ජනතා ජාතික එකමුතුවේ සාමාජික පක්ෂවලටත් මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමි. විශේෂයෙන් දෙමළ ජනතා ජාතික එකමුතුවේ සාමාජික පක්ෂවල සමගිය හා අවබෝධය මාගේ ජයග්‍රහණය සඳහා හේතු වූ බව කිවයුතුය. අපි තවදුරටත් එකමුතුව කටයුතු කිරීමට අපේක්ෂා කරන්නෙමු. අපි එකමුතුව තවදුරටත් ශක්තිමත් කරමින්, දෙමළ ජනතාවට සාධාරණ, දුෂණ වංචා වලින් තොර දෙමළ නිජබිම පදනමිකරගත් නායකත්වයක් අපි නිර්මාණය කරන්නෙමු.

මෙවර මහ මැතිවරණයේදී අවම වශයෙන් අපි යාපනයෙන් ආසන හතරක් අපේක්ෂා කළෙමු. වන්නි දිස්ත්‍රික්කයෙන් හා නැගෙනහිර පළාත්වලින් අවම ආසන තුනක් අපේක්ෂා කළෙමු. එහෙත් එම අරමුණු ඉටු වූයේ නැත.

උතුරු නැගෙනහිර පළාත් ගත් කළ දෙමළ ජාතික සන්ධානයද මෙවර මහ මැතිවරණයේදී විශාල පරාජයක් ලබා තිබේ. එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන් විසින් නිර්මාණය කරනු ලැබූ දෙමළ ජාතික සන්ධානය විනාශ නොවීමට නම් වැරදි පිරිස් ඉවත්ව නිවැරදි පිරිස් එයට එක්විය යුතු වුවත් වර්තමානයේදී දෙමළ ජාතික සන්ධානයෙන් නිවැරදි පුද්ගලයින් ඉවත්ව වැරදි පුද්ගලයින් එයට එක්ව ඇත.

මැතිවරණයෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ ආසන බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ඇතැම් සිදුවීම් එම සන්ධානයේ අනාගතය පිළිබඳ සංඥා ලබාදී ඇත. එය කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට

තේරී පත්වී සිටින සියලු දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ රටේ දෙමළ ජනතාවගේ පැවැත්ම, අනන්‍යතාව විනාශවීමේ අවදානමෙන් ගලවා ගැනීමට අවබෝධයෙන් හා ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුය. පෙර කවරදාටත් වැඩියෙන් මෙවර සිංහල බෞද්ධ අන්තවාදය අසුර ශක්තියෙන් පාර්ලිමේන්තුවට රිංගා ඇත. අපගේ ඉඩම් ආක්‍රමණය කිරීමත් සමඟ අපගේ සංස්කෘතිය සංහාරය වීමේ අවදානමද අප හමුවේ පවතී. මෙම අනතුර දෙමළ හා මුස්ලිම් ජනතාව එක්ව විනාශ කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා අප අතර පොදු උපායන් වුවමනා වෙයි. එක්ව කටයුතු කිරීම අවශ්‍ය වෙයි.

අපගේ ජනතාව එක් දෙයක් තේරුම් ගත යුතුය. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ නැගිටීම හමුවේ අප ඔවුන්ට බියව ඉවත්වීම හෝ අපගේ ස්වයං තීරණ අයිතිය පිළිබඳව කතා කිරීමෙන් වැළකී නොසිටිය යුතුය. සිදුවූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා බලපෑම් කිරිමේ හැකියාවක් නැතැයි නොසිතිය යුතුය. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතුය යන්නට බලපෑම් කළ නොහැකි යැයි නොසිතිය යුතුය.

අපගේ ජාතියේ යහපත වෙනුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියලු අප මන්ත්‍රීවරුන් සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටීමට ප්‍රතිපත්තිමය වශයෙන් එක්වීම අත්‍යවශ්‍ය වෙයි. ඒ වෙනුවෙන් මාත් දෙමළ ජනතා ජාතික එකමුතුවත් සූදානම්ව සිටින්නෙමු.

- ලක්ෂ්මී ජයකොඩි -