මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම පුරවැසි යුතුකම බැවින් ඒ යුතුකම ඉටුකරන්නැයි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවැසූහ.


එමෙන්ම මෙවර මැතිවරණය රටේ අනාගතය තීරණය කරන්නක් බැවින් රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇති සුදුස්සන් පාර්ලිමේන්තුවට තෝරා යෑවීම ද ජනතා යුතුකමක් බව කාදිනල්තුමෝ සඳහන් කළහ.

කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවැසුවේ හෙට (5) පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එහිදී මෙසේ ද පෑවැසූහ.“පාර්ලිමේන්තු නියෝජිතයන් පත්කර ගැනීමට පැවැත්වෙන මැතිවරණය රටේ අතාගතය තීරණය කරන අවස්ථාවක් බවට පත්වෙනවාට සැක නැහැ. ඉදිරි පස් වසර තුළ රටේ අනාගතය තීරණය කරන වැදගත් තීන්දු මේ පාර්ලිමේන්තුව මඟින් ගැනේවී. ඒ නිසා රටේ පුරවැසියන් ලෙස ඔබේත් මගේත් වගකීම පාර්ලිමේන්තු මැතිවරණයට සහභාගී විමයි. එය පුරවැසි යුතුකමයි.

ඒ නිසා මා සියලු දෙනාගෙන්ම ඉල්ලන්නේ ඔබේ පුරවැසි යුතුකම ඉටුකරන ලෙසයි. මහ මැතිවරණය පැවැත්වෙන දින හැකි ඉක්මනින් ඡන්ද පොළට ගොස් මැතිවරණ කොමිසම සකස් කර ඇති වැඩපිළිවෙළ හා සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරමින් කොවිඩ් -19 වසංගතයෙන් ආරක්ෂා වෙමින් ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න.

එමෙන්ම පාර්ලිමේන්තුවට සුදුස්සන් තෝරා යෑවීම ඔබේ වගකීමයි. රටේ අනාගතයට සුදුසු තීන්දු තීරණ ගන්න, රට ප්‍රගතිය කරා ගෙන යන්න ඔබ ගන්නා තීරණය වැදගත් වේවි. එය පැහැර හැරීම නිසා රට තුළ යම් කරදරයක් ඇති වුවහොත් එයට ඔබත් කොටස්කරුවකු වෙනවා. ඒ නිසා ඔබේ යුතුකම ඉටුකරන්න. ඒ වගේම මැතිවරණය අවසානයේ දී සාමකාමිව, කිසිවකුට හිරිහැර නොකර රටේ සාමය ආරක්ෂා වන අයුරින් වගකීමෙන් ක්‍රියා කරන ලෙසත් මා ඔබෙන් ඉල්ලා සිටිනවා."

- ඩයනා උදයංගනී -