සිය බිරියගේ කොණ්ඩය කතුරකින් කපා සැඟව සිටි සැමියකුට පානදුර වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය පෙරේදා (2) රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කර තරයේ අවවාද කළාය. පානදුර මෝදර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සැමියකුට මෙසේ ඇප නියම කෙරුණි.

මොහු කොරෝනා කාලයේ සිට සැඟව සිට ඇතැයි පොලිසිය පවසයි.
අඹු සැමි යුවළ අතර කලක පටන් අඩදබර සිදුව ඇති බවත් මේ නිසා බිරිය ඥාති නිවසක රැඳී සිට ඇති අතර සැකකරු ඉකුත් පෙබරවාරි 15 දා එම නිවසට පැමිණ තිබෙන බවත් පොලිසිය අධිකරණයට කීය. සැමියා පැමිණි නිසා බිරිය කාමරයක ඇඳක් යට සැඟව ඇති බවත් සැකකරු ඒ අසලට පැමිණ ඇගේ කොණ්ඩයෙන් ඇද කතුරකින් කොණ්ඩය කපා මුහුණට පයින් පහර දී පලාගොස් ඇති බවට ලද පැමිණිල්ලක් අනුව මාස පහකට අධික කාලයක් සැඟව සිටි සැකකරු වාද්දුව පොලිසියේ සැරයන් සිල්වා (3426) විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
කැපූ කොණ්ඩය නඩු භාණ්ඩ වශයෙන් පොලිස් භාරයට ගෙන ඇති බවත් කොස්තාපල් (89922) චාමර නිලධාරියා අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය. නඩුව අගෝස්තු 23 දා නැවත විභාගයට ගැනීමට නියමිතය.

    - සුමිත් ප්‍රේමතිලක -