[Trending][btop]
[News][stack]

බේරූට් පිපුරුම පසුපස කතාව

ඟහරුවාදා ලෙබනනයේ අගනගරය වන බේරූට්හි වරාය ප්‍රදේශය වැනසූ මහා පිපිරීමෙන් පසුව අතුරුදන් වී ඇති සිය ගණනක් පිරිස සොයා එරට ජීවිත ගලවාගැනීමේ සේවකයන් සෝදිසියක් සිදු කරන බවට බීබීසී මාධ්‍ය වාර්තා කරයි. මෙම පිපිරීමෙන් අඩුම තරමින් පුද්ගලයන් 135 ක්වත් ජීවිතක්ෂයට පත් වී ඇති අතර 4000කට වැඩි පිරිසක් තුවාල වී තිබේ.
මෙම පිපිරීමෙන් මුළු නගරයම දෙදුරුම් කෑ අතර
වරාය ප්‍රදේශයේ අහස පුරාවට න්‍යාෂ්ටික පිපිරීමකින් පසුව ඇති වන ආකාරයේ බිම් මලක් හැඩැති වලාකුළක් පැතිර යන අයුතු දක්නට ලැබීය. අනාරක්ෂි ආකාරයෙන් ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2750ක් හේතුවෙන් මෙම පිපිරීම සිදු වූ බවට ජනපති මයිකල් අවුන් සඳහන් කරයි.
ඇමෝනියම් නයිට්‍රේට් කෘෂිකාර්මික කටයුතුවලදී පොහොර ලෙසද පුපුරන ද්‍රව්‍යයක් ලෙසද යොදාගැනේ.
බදාදා දින හදිසි කැබිනට් රැස්වීමක් සැලසුම් කළ ජනපති පවසා ඇත්තේ සති දෙකක කාලයක් පුරාවට රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බවය.
එමෙන්ම බදාදා සිට දින තුනක් දක්වා කාලය ලෙබනනයේ ශෝක දින ලෙස සැලකෙන බව සඳහන්ය.
සිදු වූයේ කුමක්ද?
අඟහරුවාදා සවස 6න් පසුව වරායේ ඇති වූ ගින්නකින් අනතුරුව මෙම පිපිරීම සිදු වී තිබේ. මෙම ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන හාඩි නස්රල්ලා පවසන්නේ ඔහු ගින්නක් දුටු නමුත් පිපිරීමක් සිදු වේ යැයි බලාපොරොත්තු නොවූ බවය.

“මට තත්පර කිහිපයක් ගත වන තෙක් ඇසීමේ හැකියාව නැති වුණා. කුමක් හෝ සිදු වන බව මට වැටහුණා. එවිට එකවරම කාර් එකේ වීදුරු කඩාගෙන වැටුණා. අප වටා තිබුණ කාර්වල, වෙළඳසැල්වල, ගබඩාවල, ගොඩනැඟිලිවල වීදුරු එලෙස කඩා වැටුණා” ඔහු බීබීසී වෙත පැවසීය.

වරාය ප්‍රදේශයේ සිට වාහනයක ගමන් කිරීමේදී විනාඩි 5ක් පමණ ගත වන දුරකින් සිටි ලීනා සින්ජාප් සඳහන් කළේ මෙම පිපිරුමේ කම්පනය ඇය සිටි ස්ථානයට දැනුණු බවය. “මගේ ගොඩනැඟිල්ල දෙදරුවා. එය කඩන් වැටෙන්න ගියා. හැම ජනේලයක්ම ඇරුණා” ඇය සඳහන් කළාය.

මෙම පිපිරීම එතැන් සිට කිලෝමීටර 240ක් (සැතපුම් 150ක්) එහායින් තිබූ නැගෙනහිර මධ්‍යධරණි ප්‍රදේශයේ පිහිටි සයිප්‍රස් දූපතටද දැනී තිබේ. එහි පුද්ගලයන් පවසා ඇත්තේ එය භූ කම්පනයක් කියා ඔවුන් සිතූ බවය.
පිපිරීමෙන් පසුව දැඩි වාහන තදබදයක් මධ්‍යයේ සයිරන් හඬ නංවමින් අනතුර සිදු වූ ස්ථානයට යෑමට උත්සාහ කළ ගිලන් රථ ඇතුළු මේ සියල්ල හේතුවෙන් ව්‍යාකූල තත්ත්වයක් උද්ගත වූ බව බීබීසී වාර්තාකරු රාමි රුහායම් පැවසීය. උතුරේ සිට බේරූට් දක්වා මාර්ගයේ ඇතිරිල්ලක් දැමුවාක් මෙන් වීදුරු කැබලි දක්නට ලැබුණ අතර ට්‍රැක්ටරයක් මගින් ඒවා ඉවත් කරනු ලැබීය.

පුද්ගලයන් මෙම වීදුරු කැබලිවලට යට වී සිටි ආකාරය මාධ්‍යයේ පෙන්වන ලදි. එමෙන්ම කැඩී බිඳී ගිය කාර් සහ හානි වූ ගොඩනැඟිලි පෙන්වන වීඩියෝ දර්ශන මාධ්‍යයේ පළ විය. රෝහල් පිරී ඉතිරී යෑමට පටන්ගත් බව වාර්තා විය.
ලෙබනන් රතු කුරුස සංවිධානයේ ප්‍රධානී ජෝජ් කෙටනි මෙම සිදු වීම විස්තර කළේ “විශාල විපතක්” ලෙසය. “හැම තැනම මීට ගොදුරු වූ පුද්ගලයන් සහ මරණ දක්නට ලැබීය.”
ඔහුගේ සංවිධානය කියා සිටියේ පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබූ බවය. එමෙන්ම අතුරුදන් වී සිටින 100කට වැඩි පිරිසක් සොයා ජීවිත ගලවාගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බව එය සඳහන් කළේය.
සවස් වන විටත් ඉහළ අහසට දුමාරය නැඟ යන අයුරු දක්නට ලැබූ බව සනිවා රෝස් නම් වාර්තාකර සඳහන් කරයි. “මුළු නගරයම කළු පැහැ වූවා. ඒ ප්‍රදේශයේ ඇවිදින එක ලෙහෙසි වුණේ නැහැ, මිනිසුන් ලේවලින් වැහැලා හිටියේ. මම දැක්කා අවුරුදු 86ක කාන්තාවකට වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරන අයුරු‍. එම වෛද්‍යවරයා ඔහුගේ නිවසේ සිට ප්‍රථමාධාර කට්ටලයකුත් රැගෙන දිව ඇවිත් සිටියා.”
පිපිරීමට හේතු වූයේ කුමක්ද?
2013දී වරායට පැමිණි නැවක තිබී සොයාගත් මෙම ඇමෝනියම් නයිට්‍රේට් තොගය ගබඩාවක තබා තිබූ බව වාර්තා වේ. මෙය පිපිරීමට ලක් වීමට ඇත්තටම බලපෑ හේතුව සොයා බලධාරීන් විමර්ෂණ සිදු කරමින් පවතින බව සඳහන්ය.

ඇමෝනියම් නයිට්‍රේට්

මෙය සාමාන්‍ය කාර්මික රසායන ද්‍රව්‍යයක් වන අතර ප්‍රධාන වශයෙන් යොදාගැනෙන්නේ කෘෂිකර්මාන්තයේදී පොහොර ලෙසය.
කැණීම් කටයුතුවලිදී යොදාගන්නා මූලික පුපුරන ද්‍රව්‍ය වන්නේද මෙයමය. එය තමා විසින්ම පිපිරීමට ලක් නොවේ. එය පිපිරීමට ලක් වන විට නයිට්‍රජන් ඔක්සයිඩ් සහ ඇමෝනියා වැනි විෂ සහිත වායු වර්ග මුදා හැරිය හැකිය. එය ආරක්ෂිතව ගබඩා කරන ආකාරය පිළිබඳව දැඩි නීති තිබේ. ගබඩා කරන ප්‍රදේශ ගින්නෙන් ආරක්ෂා කළ ප්‍රදේශයක් විය යුතුයි, ඇමෝනියම් නයිට්‍රෙට් සෑදිය හැකි කාණු, පයිප්ප හෝ වෙනත් මාර්ග නොතිබිය යුතුයි.
හිටපු බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරියෙක් වන ෆිලිප් ඉන්ග්‍රැම් බීබීසී ටුඩේ වැඩසටහන වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ ඇමෝනියම් නයිට්‍රේට් පුපුරන ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කළ හැක්කේ යම් තත්ත්වයන් යටතේ පමණක් බවය.
ඉන්ධන තෙල් වැනි දෑ සමඟ මුසු වූ විට පිපිරීමක් සිදු විය හැකි බව ඔහු සඳහන් කළේය.
මෙම පිපිරීම සඳහා වගකිව යුතු පුද්ගලයන්ට ලබා දිය හැකි “උපරිම දඬුවම” ලැබෙන බව ලෙබනනයේ උත්තරීතර ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

පසුබිම මොකක්ද?

මෙම පිපිරීම සිදු වූයේ ලෙබනනය අසීරුතාවලට මුහුණ දෙන කාලයකදීය. කෝවිඩ්-19 ආසාදිතයන් වැඩි වන නිසා ඒ වන විටත් රෝහල් මෙම වෛරසය සමඟ කටයුතු කිරීමේ සටනක නිරතව සිටියේය. නමුත් දැන් ඔවුන්ට ඊට අමතරව තුවාල වූ පුද්ගලයන් දහස් ගණනකට ප්‍රතිකාර කිරීමටද සිදු වී තිබේ.
ලෙබනනය මේ වන විට ආර්ථික අර්බුදයකට මුහුණ පාන බවද සඳහන්ය. ලෙබනනය තම ආහාරවලින් වැඩි ප්‍රමාණයක් ගෙන්වාගන්නේ වෙනත් රටවලින්ය. වරායේ ගබඩා කර තිබූ ධාන්‍ය විශාල ප්‍රමාණයක් මෙම සිදු වීම හේතුවෙන් විනාශ වී තිබේ. සාගතයකට මුහුණ පෑමට සිදු වේදැයි බියක් මේ සමඟ පැතිර යයි.

සිදු වූ විනාශය හේතුවෙන් මෙම වරායේ ඉදිරි අනාගතයද සැක සහිතය. බොහෝ නිවෙස් සහ ගොඩනැඟිලි වාසය කළ නොහැකි තත්ත්වයට පත් වී තිබෙන නිසා බොහෝ පදිංචිකරුවන්ට නිවෙස් අහිමි වී තිබේ.
හදිසි සහනාධාර ලෙස රජයෙන් ලීරා බිලියන සියයක් නිකුත් කරන බවත් එසේ කළද පිපිරීම හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම බොහෝ කාලයක් තිබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ජනපති අවුන් නිවේදනය කර තිබේ.

පිපිරීම සිදු වීමට පෙරද ලෙබනනයේ කලබලකාරී තත්ත්වයක් දක්නට ලැබීය. 1975-1990 සිවිල් යුද්ධයෙන් පසු දරුණුම ආර්ථික පරිහානිය රජය විසින් මෙහෙයවන බව පවසමින් වීදිවල විරෝධතා දක්නට ලැබූ බව වාර්තා වේ.

දිනපතා මුහුණ දීමට සිදු වන විදුලි කප්පාදු, පානය කිරීමට ආරක්ෂිත ජලය නොමැති වීම සහ මහජන සෞඛ්‍ය සේවාවන්වල සීමාසහිත බව බොහෝ පුද්ගලයන්ගේ දෝෂාරෝපණයට ලක් වන බව සඳහන්ය.
එමෙන්ම ඊශ්‍රායෙලය සමඟ ඇති දේශසීමාවේද යම් නොසන්සුන්කාරී තත්ත්වයක් තිබූ බව සඳහන්ය. නමුත් ඊශ්‍රායෙල්හි නිලධාරියෙක් පවසා තිබෙන්නේ බේරූට්හි පිපිරීම සමඟ “ඊශ්‍රායෙලයට කිසිම සම්බන්ධයක්” නොමැති බවය.
(බීබීසී ඇසුරිනි)
එස්. දහනායක