බේරූට්හි පිපිරීමට සමාන පිපිරීමක් 1947දී ටෙක්සාස් ප්‍රාන්තයේද සිදු වෙලා

Ad Code

බේරූට්හි පිපිරීමට සමාන පිපිරීමක් 1947දී ටෙක්සාස් ප්‍රාන්තයේද සිදු වෙලා

ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි කරමින් බේරූට් අගනගරය වනසමින් සිදු වූ විශාල පිපිරීමට අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් හේතු වූ බව ලෙබනන් රජය විසින් චෝදනා එල්ල කර තිබුණි. මෙම රසායන ද්‍රව්‍ය ඇත්තටම කුමක්ද? එය පිපිරීමකට ලක් වූයේ ඇයි?
මේ පිළිබඳව සී. එන්.එන් පුවත් වාර්තා කර තිබුණි.
ඇමෝනියම් නයිට්‍රේට් යනු කාර්මික රසායනයක් වන අතර එය ලොව පුරා කෘෂිකාර්මික පොහොර වර්ගයක් ලෙස යොදා‍ගැනේ. එමෙන්ම එය යොදාගන්නා තවත් අවස්ථාවක් වන්නේ කැණීම් කටයුතුවලදී පුපුරන ද්‍රව්‍යයක් ලෙසය.
එමෙන්ම පුපුරවා හැරීම් සඳහා මූලික අමුද්‍රව්‍යයක් ලෙසද එය යොදාගෙන තිබේ. 1995දී ඔක්ලහෝමා නගරයේ සිදු වූ බෝම්බ පිපිරීම, 2002දී ඉන්දුනීසියාවේ බාලි දූපතේ සිදු වූ බෝම්බ පිපිරීම සහ 2011දී නෝර්වේජියානු ත්‍රස්තවාදියෙක් සිදු කළ වෙඩි තැබීම සහ බෝම්බ ප්‍රහාරය මීට උදාහරණ වේ.
ලෙබනනයේ බලධාරීන් පවසන පරිදි 2014දී රාජ සන්තක කළ මෙම ඇමෝනියම් නයිට්‍රේට් මෙට්‍රික් ටොන් 2750ක තොගය බේරූට් වරයාගේ ගබඩාවක් තුළ ගොඩගසා තිබී ඇත. මෙම රසායන ද්‍රව්‍ය පසුගිය වසර 6 පුරාවට ගබඩා කර තබා ඇත්තේ ආරක්ෂිත අන්දමින් වන බවත් මේ පිළිබඳව විමර්ෂණයක් සිදු කරන බවත් එරට අග්‍රාමාත්‍ය හසාන් ඩියැබ් පවසා තිබේ.
නමුත් බේරූට් වරායේ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් අඟහරුවාදා සවස් කාලයේදී මාරාන්තික ප්‍රතිඵල ඇති කරමින් පිපිරී යෑම සඳහා එ්වා ඇවිළුණේ කෙසේද යන්න තවමත් අපැහැදිලිය. “ඇමෝනියම් නයිට්‍රේට් යනු ඔක්සිකාරකයක්. නමුත් එය තමා විසින්ම ඇවිළිමකට ලක් වන්නේ නැහැ. කෙසේ වුවත් එය හෝ එහි කුඩා ප්‍රතිශතයක් හෝ තෙල් නැත්නම් ජීව අමුද්‍රව්‍යයක් වැනි ඉන්ධනයක් සමඟ සංයෝග වූ විට අතිභයානකය” නිව්සවුත්වේල්ස් රසායන විද්‍යා විශ්වවිද්‍යාලේ මහාචාර්යවරයෙක් වන රොජර් ඩබ්. රීඩ් සඳහන් කළේය.
“ඉහළ උෂ්ණත්වයක් ඇති අවස්ථාවකදී එවැනි සංයෝගයක් මගින් විශාල විනාශයක් සිදු විය හැකිය” ඔහු සඳහන් ‍කළේය.
“පෙනෙන ආකාරයට බේරූට්හි පිපිරීමේදී මුලින් ගින්නක් ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් ඇමෝනියම් නයිට්‍රේට් දැවී තිබෙනවා. මෙය ගබඩා කර තිබුණේ සීමිත ඉඩක් ඇති ස්ථානයක නිසා එමගින් රස්නේ ගෑස් විශාල ප්‍රමාණයක් මුදාහැරෙනවා. එම වාතයේ පරිමාව ඝනවලට වඩා ඉහළ යෑම නිසා යම් පීඩනයක් නිර්මාණය වෙනවා. රස්නේ වාතයේ පරිමාව ඉහළ නිසා එය යම් සීමිත ස්ථානයකට කොටු වූ විට එකවර පිපිරෙනවා. එවිට එම පීඩනය කම්පන තරංගයක් ලෙස මුදාහැරෙනවා” ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්ය ස්ටුවර්ට් වෝකර් සඳහන් කළේය.
“අළු සහ සුදු පැහැ වලාවක් ලෙස මෙම ගින්න ආරම්භ වූ ආකාරයක් පිපිරීම සිදු වූ අවස්ථාවේදී රතු, තැඹිලි, දුඹුරු වර්ණ දුමාරයක් සහ බිම්මලක හැඩැති සුදු පැහැ විශාල වලාකුළක් නිර්මාණය වූ ආකාරයත්” මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනවල දක්නට ලැබූ බව ‍වෝකර් සඳහන් කළේය.
ඔහු පැවසූ ආකාරයට රතු, තැඹිලි, දුඹුරු දුමාරය යනු නයිට්‍රස් ඔක්සයිඩවල ලක්ෂණය. එය ඇමෝනියම් නයිට්‍රේට්වලින් මුදාහැරෙන විෂ සහිත වායුවක්ය.

මීට පෙර මෙවැන්නක් සිදු වී තිබෙනවාද?

නිෂ්පාදනය සඳහා සාධාරණ මට්ටමින් අඩු වියදමක් වැය වන ඇමෝනියම් නයිට්‍රේට් ඇසුරින් මෙතරම් විනාශයක් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බව සඳහන්ය.
ආසන්නතම සිදු වීම වන්නේ 1947දී ටෙක්සාස්හි සිදු වූ පිපිරීමය. එහිදී පිපිරීම සඳහා ගින්නාක් හේතු වූ අතර ඉන්පසු ඇති වූ ගින්නෙන් ගොඩනැඟිලි 1000කට වැඩි ප්‍රමාණයකට හානි සිදු වී පුද්ගලයන් 400කට කිට්ටු ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වූ බව ටෙක්සාස් ‍ඓතිහාසික සංගමය පෙන්වා දෙයි.
එක්සත් ජනපද නිජබිම් ආරක්ෂක සංවිධානය පවසන පරිදි මෙම පිපිරීම සිදු වී ඇත්තේ ඇමෝනියම් නයිට්‍රේට මෙට්‍රික් ටොන් 2087ක පමණ බලපෑමෙන්ය.
“අනාරක්ෂිතව ගබඩා කරන ඇමෝනියම් නයිට්‍රෙට් පිපිරීම් සඳහා මඟ පාදන බව ප්‍රකට කරුණක්. ජර්මනියේ ඔප්පාවු, ටෙක්සාස්හි ගැල්වෙස්ටන් බොක්කක සහ වඩාත් මෑතක ටෙක්සාස්හි වැකෝ ප්‍රදේශයේ බටහිරින් හා චීනයේ ටියැන්ජින් නගරයේ වාර්තා ඊට උදාහරණ වෙනවා” ලන්ඩන් විශ්වවිද්‍යාලයක අකාබනික රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇන්ඩ්‍රියා සෙලා සඳහන් කරයි.
“සාමාන්‍යයෙන් ඇමෝනියම් ගබඩා කරන ආකාරය පිළිබඳව පැහැදිලි රීති තිබෙනවා. එම රීති නොසලකා හරිමින් මෙතරම් ඇමෝනියම් ප්‍රමාණයක් වසර හයක් පුරා ගබඩා කර තිබීම පුදුමයට කරුණක්. එය හරියට අනතුරක් ‍වන තෙක් බලාපොරොත්තුවෙන් සිටියා හා සමානයි” සෙලා පැවසීය.
2015දී ටියැන්ජින් වරාය නගරයේ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් අතුළු අනතුරුදායක රසායන ද්‍රව්‍ය සියගණනක් හේතුවෙන් විශාල පිපිරීමක් සිදු වූ අතර ඉන් පුද්ගලයන් 100කට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වී තිබේ.
2013දී ටෙක්සාස්හි බටහිරට වෙන්න පිහිටා ඇති කුඩා නගරයක පොහොර සංස්ථාවක් ආශ්‍රිතව සිදු වූ පිපිරීම මගින් පුද්ගලයන් 15දෙනෙකුගේ ජීවිත අහිමි වී නිවාස 500ක් විනාශ වී තිබේ. එය කොතරම් ප්‍රබල වූවාද කිවහොත් රිච්ටර් මාපක 2.1ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වීමට හේතු විය.

බේරූට් පිපිරීමට තවත් රසායන ද්‍රව්‍ය හේතු වූවාද?

මෙම පිපිරීමේ විශාලත්වය සහ ලෙබනනයේ පැවති නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් යුධමය පුපුරන ද්‍රව්‍ය මීට ඇතුළත් වන්නට ඇත්දැයි සැක පළ කරන බව සඳහන්ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සිදුවීම සඳහන් කර ඇත්තේ “ප්‍රහාරයක්” ලෙසටය. නමුත් පසුව එක්සත් ජනපද ආරක්ෂක අමාත්‍යංශ බලධාරීන් සී. එන්. එන් වෙත සඳහන් කර ඇත්තේ එම වචනයෙන් සැබෑ ප්‍රහාරයක ඇඟවීමක් සිදු නොකළ බවය. මෙවැනි වචනයක් භාවිතා කිරීම පිළිබඳ‍ ලෙබනන් බලධාරීන්ද එක්සත් ජනපදයෙන් ප්‍රශ්න කරන බව සඳහන්ය.
පොහොර බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ විශේෂඥයෙකු වන හිටපු බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියෙක් වන ක්‍රිස් හන්ටර් පවසැ ඇත්තේ මෙය “කාර්මික හදිසි අනතුරක් බව” තමාට ස්ථිරයි කියාය.

ඇමෝනියම් නයිට්‍රේට් ආරක්ෂා සහිතව ගබඩා කරන්නේ කෙසේද?

ගින්නක් ඇති වීමට හේතු විය හැකි ද්‍රව්‍ය, පහසුවෙන් දැවෙන ද්‍රව්‍යවලින් ඈත් කර තැබීම ආරක්ෂිත ක්‍රමය බව සඳහන්ය. එමෙන්ම ඒවා කුඩා ඇසුරුම්වල බහා එකිනෙක අතර ප්‍රමාණවත් දුර ප්‍රමාණයකින් තැබිය යුතුය. එවිට එකක් ඇවිළුණද අනෙකට පැතිර යන්නේ නැති බව සඳහන්ය.
ඇමෝනියම් නයිට්‍රෙට්වල තිබෙන අවධානම හේතුවෙන් සාමාන්‍යයෙන් ඒවා ලබාගැනීමට තහංචි පනවන අතර ඒවා මිලදී ගැනීම සඳහා බලපත්‍රයක් අවශ්‍ය වේ. නෝවේජියානු ත්‍රස්තවාදියාට ඒවා ලබාගෙන ගබඩා කරගත හැකි වූයේ ඔහුට ගොවිපොළක් තිබූ නිසා බව වෝකර් පැහැදිලි කළේය.
ගබඩා කිරීමේදී බොහෝවිට ආරක්ෂක ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම නිසා වඩාත්ම අනතුරු සිදු වීමේ ප්‍රවණතාවයක් පවතින්නේ ට්‍රක් රථ හෝ නැව් මගින් ඒවා ප්‍රවාහනය කිරීමේදී බව වෝකර් තවදුරටත් පැවසීය. මෙසේ ප්‍රවාහනය කිරීමේදී 2014දී ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ සහ 1972දී ටැරූම්වල අනතුරු සිදු වී තිබේ.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අනුව ලොව විශාලතම ඇමෝනියම් නයිට්‍රේට් නිෂ්පාදකයා වන්නේ රුසියාවය.
(CNN ඇසුරිනි)
එස්. දහනායක




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu