නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරී කටයුතු සඳහා තෝරාගනු ලැබ සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් දස දෙනකු එම කටයුතුවලින් ඉවත් කර ඔවුන්ට එරෙහිව විමර්ශනයක් ඇරැඹු බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසීය.
මේ නිලධාරින් දස දෙනා කිසියම් දේශපාලන පක්ෂයක රැස්වීම්වලට සහභාගිවි ඇතැයි තහවුරුවීම නිසා ඔවුන්මැතිවරණ රාජකාරිකටයුතුවලින් මෙසේ ඉවත්කළ බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ඉවත් කෙරුණු ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් වෙනුවට වෙනත් පිරිසක් පත්කරනු ලැබ සිටිති. මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසුවේ එම ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් දේශපාලන පක්ෂයක රැස්වීම්වලට සහභාගිවී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි රැසක් ලැබී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ඡායාරූප පවා තමාට ලැබුණු බව ඔහු කීවේය. ඡන්ද රාජකාරී කටයුතුවලින් මෙසේ ඉවත් කරනු ලැබ සිටින්නේ ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරු වශයෙන් තෝරාගනු ලැබ සිටි ප්‍රදේශයේ ගුරුවරුන් දස දෙනෙකි.

මහ මැතිවරණය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 498 කි. මෙම ඡන්ද පොළ සඳහා යෙදවීමට නියමිත නිලධාරීන් සංඛ්‍යාව හාර දහස් එකසියයකි.

සෞඛ්‍ය කටයුතු හා ඡන්දය ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීහු දෙදහසකට වැඩි පිරිසක් යෙදවෙති.

- සුජිත් හේවාජුලිගේ -