ගලේවෙල දඩුබැදිරුප්ප ප්‍රදේශයේදී වනඅලියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙඩි තැබීමකින් බවට පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. ගලේවෙල පිබිදුණුගම වනජීවී කාර්යාලයේ නිලධාරින්ගේ දැනුම්දීම මත වයඹ පළාත් භාර වනජීවී පශු වෛද්‍ය ඉසුරු වීරක්කොඩි මහතා විසින් අලියාගේ මරණ පරික්ෂණය පවත්වන
ලද අතර එහිදී අලියාගේ සිරුරේ තිබූ ඊයම් බෝල සොයා ගන්නා ලදී. මෙම වනඅලියාගේ හිස හා උදර ප්‍රදේශයේ ඇතුළට කිඳා බැස ඇති තුවාලයකින් මෙම ඊයම් බෝල සොයාගෙන තිබේ. ඇතැම් විට කිසියම් කෙනකු මෙම සත්වයාට වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බව සැක සහිත බව වනජීවී නිලධාරීහු කියති.

මේ අතර පසුගිය 01 වැනිදා රාත්‍රියේ ගම්වැදුණු වනඅලින් සිවු දෙනෙකු ගම හැම තැනම ඇවිද යමින් 02 වැනිදා අලුයම් කාලය දක්වාම සැරිසැරූ බවත් ඒ අතරවාරයේ නිතර නිතර වෙඩි හඩ සහ අලි වෙඩි ශබ්ද ඇසුණු බවද ප්‍රදේශවාසීහු පවසා සිටියහ. නමුදු මෙම වනඅලියාට කුමක් වූයේද යන්න නොදන්නා බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.


-එස්.කරුණාරත්න-