ගල්කිස්ස අත්තිඩිය ඉදිගහදෙණිය පාරේ ළඳු කැලෑවක තිබී සොයාගත් අති නවීන ගිනි අවි 4 මේ වන විට බන්ධනාගාරගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ඒවා බව බැලු බැල්මට තහවුරු වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.



සොයාගත් ගිනිඅවි මීට මාස කිහිපයකට ඉහත දී හොරොයින් මත්කුඩු කිලෝ 56ක් සමඟ මෙරටට රැගෙන ආ ඒවා බව පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී මෙම වර්ගයේ ගිනි අවියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගනු ලැබු අතර ඉතිරි ගිනි අවි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන බඩෝවිට රජිත නොහොත් ලොකු නමැත්තාට ලබා දුන් බව අනාවරණය විය.

ඒ වන විට බඩෝවිට රජිත නොහොත් ලොකු නමැත්තා බෝට්ටු මගින් ඉන්දියාවට පලාගොස් සැඟවීම හේතුවෙන් එම ගිනි අවි සොයා ගැනීමට නොහැකි විය. එම පුද්ගලයා ලබා දුන් උපදෙස් මත කිසියම් පුද්ගලයකු වෙනත් පාර්ශ්වයක් අතට පත් කිරිම සඳහා මෙම ගිනි අවී සහ මැගසින් සහිත බෑගය මෙම ස්ථානයේ තබා යන්න ඇති බව පෙනී යන්නේ යැයි ද පොලිස් නිලධාරියෙක් පැවසීය.

 එම ගිනි අවි හතර මෙම ස්ථානයට රැගෙනවිත් සැඟවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේ පරික්ෂණ පවත්වන අතර ඒ අවට පදිංචිකරුවන් ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි.

මීට අමතරව කළුතර ප්‍රදේශයේ පුද්ගලයකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති අතර නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඔහු සම්බන්ධයෙන් ද සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ ගිනිඅවි ද සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කර මීට පෙර අත්අඩංගුවට ගත් ගිනි අවිය හා එකිනෙක සැසදේ දැයි යන්නෙ තහවුරු කර ගැනීම සඳහා වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව ද ඔහු කීය.

 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජේ. නන්දන, සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත, උපපොලිස් පරික්ෂක දුනුසිංහ, මර්වින්, පොලිස් සැරයන් 31831ගාමිණ, 61780 සඳරුවන්, පොලිස් කොස්තාපල් 69480 කුමාර, 70450 අමිල, 8263Iඅනුරුද්ධ, 30017 අධිපත්තු, 91821 වැලිවිට, 89728 දුලිප් යන නිලධාරිහු සිදු කරති.

(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)