රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යන මුවාවෙන්, නිරෝධායන නීතියට පටහැනිව පවත්වාගෙන ගිය සම්බාහන සේවයේ නිරත මධ්‍යස්ථාන දෙකක් වටලා එහි සිටි කාන්තාවන් නවදෙනකු, පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු එම ස්ථානවල දීම නිරෝධායනයට ලක් කිරීමට දඹුල්ල සහ සීගිරි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ (04දා) පස්වරුවේ පියවර ගත්හ.


දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාන දෙකක් මෙසේ වටලා ඇති අතර, දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතාට ලද තොරතුරක් මත දඹුල්ල, සීගිරිය, ඉනාමළුව යන කලාපවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වැටලීම සිදුකර තිබේ.

ඒ අනුව දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කිරීමට ලබාදුන් අවසර පත්‍රයට මුවා වී තරුණියන් පස් දෙනෙකු යොදවා මෙම සම්බාහන මධ්‍යස්ථානය ආරම්භ කර තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට යන විටත් තරුණියන් පස් දෙනෙකු එම ස්ථානයෙන් සඟවා තබාගැනීමට එහි අයිතිකරුවන් කටයුතු කර තිබේ.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩිව අවවාද කරද්දී අදාළ තරුණියන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඉදිරිපත් කර ඇත. ඒ වනවිටත් ගලේවෙල, අනුරාධපුර, නාවුල, දඹුල්ල, පොළොන්නරුව ආදී විවිධ ප්‍රදේශවල පුද්ගලයන් මෙම ස්ථානයෙන් සේවා ලබාගෙන ඇති බවට ලිබිත තහවුරු රැසක් අනාවරණය වී තිබේ.

පසුව දඹුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි සීගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත කුමාර මහතා සහ ඉනාමළුව මහජන සෞඛ්‍ය පරීක්ෂක බන්දුල හරිස්චන්ද්‍ර යන මහත්වරු විසින් එම ස්ථානයේ සිටි තරුණියන් පස්දෙනාත්, මෙය පවත්වාගෙන යන කාත්තාව සහ පිරිමි පුද්ගලයාත්, එම ස්ථානයේ සිටි තවත් පිරිමි පුද්ගලයෙකුත්, එම ස්ථානයේම නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදී එම ස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට පියවර ගනු ලැබීය.

පසුව ඉනාමලුව හන්දිය ප්‍රදේශයේ පිහිටි තවත් මෙවැනිම ස්ථානයක් වැටලීමට මෙම කණ්ඩායම පියවර ගත් අතර, එම ස්ථානයේ කාන්තාවන්ගෙන් පහසුකම් ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තම භාරයට ගෙන තිබේ. එහිදී එක් පුද්ගලයෙකු පලා යන්නට වී ඇති අතර, එම ස්ථානයේත් කාන්තාවන් තිදෙනකු සැඟවී සිටියදී සොයාන්ගෙන තිබේ. එම ස්ථානයට රූපලාවණගාරයක් පවත්වාගෙන යෑමට හෝ අවසරයක් නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුහ.

මෙම ස්ථානයේ සිටි කාන්තාවන් තිදෙනකු ඔවුන්ගෙන් සේවා ලබා ගැනීම සඳහා පැමිණි තවත් පුද්ගලයෙකු සහ මෙම ආයතනය පවත්වාගෙන යන පුද්ගලයාද එම ස්ථානයේම දින දාහතරක් නිරෝධායනයට ලක්කරන ලෙස නියෝග කරමින් එම ස්ථානයද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගනු ලැබූහ.

මෙම සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරමින් සිටි තරුණියන් සහ එම පිරිස් මෙම පහුගිය දින කිහිපයේ මෙම කණ්ඩායමෙන් සේවා ලබාගත් පිරිසගේ නාමලේඛනය ලබාගෙන ඔවුන් පිළිබඳව පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, එතෙක් මෙම ස්ථානය සම්පුර්ණයෙන්ම වසා දමන ලෙසත් සීගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත කුමාර මහතා නියෝග කළේය.

කොරෝනා වසංගතය පාලනය කිරීමේ නීතිය යටතේ සම්බාහන මධ්‍යස්ථාන විවෘත කිරීමට මෙතෙක් අවසර දී නොමැති බව දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා පැවසීය.

- එස් කරුණාරත්න -