රුපියල් මිලියන 53ක් වැය කර ස්ථාපිත ස්වයංක්‍රීය වර්ෂාමානවල දත්ත නිවැරදි නැතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ වර්ෂාමාන සීයක් විවිධ ස්ථානවල ස්ථාපිත කර ඇති අතර, ඒවායේ බහුතරයක් ක්‍රමාංකනය කර නැති නිසා ලැබෙන දත්තවල නිවැරැදි බව පිළිබඳ ගැටලු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි ඉදිරිපත් කිරීම සඳහා නව යන්ත්‍රෝපකරණ යොදාගැනීම සම්බන්ධයෙන් මෙම විගණනය සිදුකර තිබේ. එම වාර්තාවේ දැක්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පවතින වාර්ෂාමානයේ හැර අනෙකුත් වර්ෂාමානවලින් ලැබෙන දත්තවල නිවැරදි බව විගණනය සිදුවූ 2019 මාර්තු දක්වා තහවුරු කරගැනීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර නැත.

මෙම වර්ෂාමාන සවිකිරීම සඳහා වියළි කලාපය අතහැර තෙත් කලාපයේ ගංඟා පහක් පමණක් ආශ්‍රිත කරගෙන ස්ථාන සීයක් තෝරාගෙන තිබීමද ගැටලු සහගත බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

වර්ෂාමාන ස්ථාපිත කිරීම සඳහා පෞද්ගලික සමාගමක් සමඟ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2018 ජුනි 25 ගිවිසුම්ගතව තිබුණද, 2018 පෙබරවාරි වන විටද අදාළ උපකරණ ලබාගැනීම හා ඒවාට මුදල් ගෙවීම සිදුකර අවසන්ව තිබූ බවද එහි සඳහන් වේ .

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මාලික විමලසූරිය මහතා සඳහන් කළේ එම උපකරණවල ක්‍රමාංකනය පිළිබඳ ගැටලුවක් පවතින බවය.

ඒ අනුව ඒවායේ දත්තවල නිරවද්‍යතාවය පිළිබඳ ගැටලු පවතින බැවින් ඒවා කාලගුණ අනාවැකි සඳහා යොදා නොගන්නා බවද ඔහු පැවසීය.

ගිවිසුමට අනුව එම උපකරණවල නඩත්තුව වසර තුනක් දක්වා ස්ථාපිත කළ ආයතනය මඟින් සිදුකිරීමට එකඟව ඇති බැවින් තවමත් දෙපාර්තමේන්තුව ඒ සඳහා වගකීමක් දරන්නේ නැති බවද විමලසූරිය මහතා පැවසීය.

( මුදිතා දයානන්ද )