මාස එකහමාරක් පමණ වන තම කිරිකැටි දරුවා නිවසේ ඇඳ මත තියා තනිකර ගිය බව කියන දරුවාගේ මව දින හයකට පසු පෙරේදා (20) සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය කියයි.

එම කාන්තාවගේ සැමියා පොලිසියට කළ පැමිණිල්ලක් මත ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.


ඇය ඉකුත්දා (14) රාත්‍රී 1.30 ට පමණ මාස එකහමාරක් වන තම පිරිමි දරුවා නිවසේ ඇඳ මත දමා සැමියාට හොරෙන්  නිවෙසින් බැහැරව ඇගේ මව සමග ත්‍රිරෝද රථයකින් රත්ගම ප්‍රදේශයේ තම නිවසට ගොස් කල් ගෙවා ඇති බව පොලිසිය පවසයි. රාත්‍රී කාලයේ දරුවා නොනවත්වා ඇඩීම හේතුවෙන් අසල කාමරයක සිටි සැමියා පැමිණ බලන විට කිරිකැටි දරුවා පමණක් ඇඳ මතට අඩමින් සිට ඇති බව සැමියා පොලිසියට පවසා ඇත. පසුව තම බිරිඳ වැසිකිළියට ගොස් ඇති බව සිතා සැමියා වැසිකිළියේ සහ නිවසේ වටපිටාව පරික්ෂා කළත් බිරිඳ නිවසේ නොසිටි හෙයින් ඒ සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසියට පැමිණිලි කර ඇත.

පසුව සැමියා කළ දැනුම්දීමක් මත රත්ගම ප්‍රදේශය‍ෙ බිරියගේ මවගේ නිවසේ සිටි ඇය පොලිසියට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන අමරත්න මහතාගේ උපදෙස් පරිදී පොලිස් පරික්ෂක විජිතානන්ද, උප පොලිස් පරික්ෂක  කරුණාරත්න යන නිලධාරිහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(දෙනියාය විශේෂ - එස්.ඩී. කොඩිකාර)