වේයන්ගොඩ, බලබෝව ග්‍රාමයේ කුලියට ලබාගත් නිවසක් තුළ ඉතා රහසිගතව හොර මත්පැන් (කසිප්පු) පෙරිමේ ජාවාරමක යෙදී සිටි දෙදෙනකු පෙරන ලද මත්පැන් බෝතල් 45 ක් සහ  තවත් භාණ්ඩ ගණනාවක්
සමග (13) සවස අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.  නිවසේ නිදන කාමරයක් මත්පැන් පෙරීම සඳහා අවශ්‍ය ලෙස  සකස්කර තිබූ බව ද පොලිසිය කියයි. මෙම නිවස බාහිර පුද්ගලයන්ට නොපෙනෙන ලෙස නිවස වටා පොල්අතුවලින් ආවරණය කර

මත්පැන් පෙරීමේ ජාවාරම ඉතා රහසිගතව  සිදුකරගෙන ගොස් ඇති බව ද පොලිස් නිලධාරිහු පවසති.
ගෑස් සිලින්ඩරයක්, ගෑස් ලිපක්, තඹ දඟර කිහිපයක් ලීටර් 210 ප්‍රමාණයේ යකඩ බැරල් 2 ක්, ගෝඩා මිලි ලීටර් 1,80,000 ක් මෙම වැටලීමේදී නිවස තුළ තිබී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති දෙදෙනකු නිවස කුලියට ලබාගෙන ඇති බව ද වැටලීම සිදුකළ අවස්ථාවේ නිවස තුළ කාන්තාවක් සිටි බව ද, සැකකරුවන් අවුරුදු 22-35 යන වයස්වල පසුවන්නන් බව ද පොලිසිය වැඩිදුරටත් කියයි. පෙරන ලද මත්පැන් ජාඇල ප්‍රදේශයට ඉතා රහසිගතව අලෙවි කර ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබලිව්.පී. වීරසිංහ,  එහි පොලිස් පරික්ෂක අසංක සමරසිංහ, පොලිස් සැරයන්වරුන් වන (33939) ඒකනායක, (45581) බාලසූරිය, පොලිස් සැරයන් රියැදුරු (7480) බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (70702) වීරරත්න, (2050) දුමින්ද, කාන්තා පොලිස් කොස්තාපල්  (178) රසිකා යන පොලිස් පිරිස මෙම වැටලීම සිදුකළහ.

(වතුපිටිවල එස්.යූ.ඩබිලිවි.කේ. ජයවර්ධන)