තරග පාවාදීමක් පිළිබඳ සාවද්‍ය ප්‍රකාශයක් කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඊයේ (22දා) සමාජවාදී තරුණ සංගමය විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබිණි. සමාජවාදී තරුණ සංගමයේ
ජාතික සංවිධායක, එරංග ගුණසේකර හා නීතිඥවරුන් වන සුනිල් වටගල, සුසන්ත දොඩවත්ත යන මහත්වරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

 2011 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් තරගයේදී තරග පාවාදීමක් සිදුකළ බවට හිටපු අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් සිදුකළ බවද එරංග ගුණස්කර මහතා සඳහන් කළේය. එහෙත් අදාළ චෝදනාව සනාථ කිරීමට කරුණු නොමැති නිසා පරීක්ෂණ කටයුතු අවසන් කළ බවත්, මේ නිසා සාවද්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට තම සංගමය මේ මස 06 වැනිදා ක්‍රීඩා අමාතයාංශයට පැමිණිලි කළ බවත් ඔහු පවසා සිටියේය.එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම නිසා ඊයේ (22දා) පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් හෙතෙම පවසා සිටියේය.