කුරුණෑගල "බුවනෙක හෝටලය” නමින් පැවැති ගොඩනැගිල්ලට අලාභානි කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කර ලබන 31 වැනිදාට පෙර සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (22) උපදෙස් ලබා දුන්නේ ය.
‘උරුම නගර සංවර්ධන' ව්‍යාපෘතිය යටතේ මාස 06 ක කාලයක් තිස්සේ මෙම ගොඩනැගිල්ලේ
වැදගත්කම පිළිබඳව දැනුවත් කොට ගොඩනැගිල්ල සංරක්ෂණ කිරීමට දායකත්වය ලබා දෙන්නැයි කුරුණෑගල නගරාධිපතිවරාගෙන් ඉල්ලීමක් කොට තිබිය දී ගොඩනැගිල්ල කඩා දැමීමට අවසර ලබා ගත්තේ කෙසේදැයි ඔහුගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබාගන්නා ලෙස ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

කුරුණෑගල “බුවනෙක හෝටලය' නමින් පැවැති ගොඩනැගිල්ලට අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයට අදාළව එකී විමර්ශනවල ස්වභාවය හා ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා, කුරුණෑගල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත, කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් සහ ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි මහතා ඇතුළු නිලධාරීන් කැඳවා කළ සාකච්ඡාවක දී මෙලෙස උපදෙස් ලබාදුන් බව ඇය පැවසුවාය.

එම සාකච්ඡා වලින් අනාවරණය වූ කරුණු අනුව එම විමර්ශන පැවැත්විය යුතු ආකාරය හා විමර්ශන කළ යුතු කාරණා සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පිටු 05 කින් යුත් උපදෙස් මාලාචක් නිකුත් කරනු ලැබූ බව පැවසු නිශාරා ජයරත්න මෙනවිය විශේෂයෙන් අපරාධ ස්ථානය ආරක්ෂා කිරීම හා අධිකරණ නියෝගයක් ලබා ගැනීම, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ සහ ජාතික ගොඩනැඟිලි පරික්‍ෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් විශේෂ කරුණු සම්බන්ධයෙන් විශේෂඥ වාර්තා ලබාගැනීම සඳහා අධිකරණ නියෝග ලබාගැනීමටත් උපදෙස් ලබාදුන් බව ද පැවසුවාය.

කුරුණෑගල නගර සභාවේ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ප්‍රකාශ ලබාගැනීමටත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගත යුතු කාරණා පිළිබඳවත් උපදෙස් ලබාදී ඇති නීතිපතිවරයා අපරාධ සම්බන්ධ ස්ථානය අවට ඇති සී.සී.ටී.වී. කැමරා පද්ධති පරික්ෂා කර බලා ඒවායින් සිද්ධියට අදාළ දර්ශන ලබාගැනීමටත්, ගොඩනැගිල්ල කඩා දැමීමට තීරණය කිරීමේ දී අනුගමනය කළ යුතුව තිබු ක්‍රියාපටිපාටිය නිසි අයුරින් ක්‍රියාත්මක කොට ඇත්දැයි විමසීමක් කරන ලෙසත් උපදෙස් ලබා දී ඇත.

මෙම ‘බුවනෙක හෝටලය' නමින් දැක්වෙන ගොඩනැගිල්ල කුරුණෑගල රාජධානියේ රාජසභාව පැවැති ස්ථානය ලෙස හඳුන්වන බැවින් එය පුරාවස්තු ආඥා පනතට අනුව ස්මාරකයක් ලෙස සැලකිය යුතු බව මෙන්ම මෙම පැරණි ගොඩනැගිලි මුල් ස්වරූපයෙන්ම සංරක්‍ෂණය කොට ආරක්ෂා කිරීම සුදුසු බව ද 2020 මැයි මාසයේ දී පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නගරාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බව පැවසු නිශාරා ජයරත්න මෙනවිය මෙම ගොඩනැගිල්ලේ වැදගත්කම වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘උරුම නගර සංවර්ධන' ව්‍යාපෘතිය යටතේ මාස 06 ක කාලයක් තිස්සේ කමිටුව දැනුවත් කොට ඇති බවත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කරන ලද ලේඛනවලින් තහවුරු වන බව ද පැවසුවාය.

එම ගොඩනැගිල්ල සංරක්‍ෂණ කිරීමට දායකත්වය ලබා දෙන්නැයි ඉල්ලීමක් කර ඇති අවස්ථාවක එම ගොඩනැගිල්ල කඩා දැමීමට අවසර ලබා ගත්තේ කෙසේ ද? යන කරුණු සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරාගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතැයි පැවසු නිශාරා ජයරත්න මෙනවිය මේ සම්බන්ධයෙන් සියලු විමර්ශන අවසන් කර මේ මස 31 වැනිදාට පෙර නීතිපතිවරයාට ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

- මනෝප්‍රිය ගුණසේකර -