සංවිධානාත්මක අපරාධකරුවන් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් බැර කිරීමේ කටයුතු සඳහා විශ්වවිද්‍යාල සිසුන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගැනීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (19) පැවසීය.
විශ්වවිද්‍යාල සිසුන් රැකියා අවස්ථා සොයමින් අන්තර්ජාලයේ සැරිසරන අවස්ථාවල ඔවුන් ඉහත ඡාවාරම්කරුවන් අන්තර්ජාලය හරහා මේ සඳහා සම්බන්ධ කරගෙන ඇති බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා කීවේය. සතියකට රුපියල් 5000 බැගින් ලබාදෙන බව පවසමින් සිසුන්ගේ නම්වලින් ගිණුම් විවෘත කරගන්නා බව ද හෙතෙම කීය.


ගිණුම් විවෘත කිරීමෙන් පසුව සිසුන්ගේ ගිණුම්වලට මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ලැබෙන මුද බැර කරන බවත්, පසුව එම මුදල් ඔවුන් හරහාම එම ගිණුම්වලින් ලබාගෙන ජාවාරම්කරුවන් ලබා දෙන දුරකතන අංකවලට ඊසි කෑෂ් ක්‍රමයට බැරකරගෙන ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

 මෙවැනි කටයුතු සම්බන්ධයෙන් මීට පෙර පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් මෙම සිසුන්ට සැකයක් ඇති වී ඔවුන් සම්බන්ධ වී සිටින්නේ මෙම ජාවාරම්කරුවන්ට ද යන්න හෙළි කර ගැනීම සඳහා තමන් හමුවී සිද්ධිය දැනුම් දුන් බවද දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

 මේ ආකාරයෙන් මෙම ජාවාරම්කරුවන් විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ පිරිස සම්බන්ධ කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, නොදැනුවත්කමින් මෙම ජාවාරම්කරුවන්ගේ ජාවාරම්වලට සම්බන්ධ වී සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කරන ලෙසට තමන් එම තරුණ පිරිසගෙන් ඉල්ලා සිටින බවද තෙන්නකෝන් මහතා කීය.


පොලිසිය මෙම ජාවාරම්කරුවන්ගේ වත්කම් සොයන බැවින් පොලිසියෙන් බේරීම සඳහා ඔවුන් මේ ආකාරයෙන් තරුණයන් භාවිත කරමින් මුදල් බැරකර ගන්නා බවත්, මෙම ජාවාරම්කරුවන්ගේ  උගුලට හසු නොවන ලෙසට තමන් තරුණ දරුවගෙන් ඉල්ලා සිටින බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා කීවේය.  මේ සම්බන්ධයෙන් පොලිසිය දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බවත්, තරුණයන් දැන දැනම මෙම ජාවාරම්වල නිරත වී සිටින බවට හෙළි  වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් තෙන්නකෝන් මහතා පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

(ඉන්දිකා රාමනායක)