ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) පෙරවරුවේ සහභාගි වීමට නියමිතව සිටි ඇඹිලිපිටිය නව නගරයේ ළමා උද්‍යනයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැස්වීමට සහභාගි වීමට එම
පක්ෂයේම අපේක්ෂකයකුගේ නම, මනාප අංකය සහ ඡන්ද ලකුණ සඳහන් පොහොට්ටුවේ වර්ණය සහිත ටී ෂර්ට් ඇඳගෙන ආ ආධාරකරුවන්ට රැස්වීම් භූමියට ඇතුළුවීමට සංවිධායකයෝ ඉඩ නොදුන්නහ.

විස්සක පමණ පිරිසක් එසේ පැමිණි අතර ටී ෂර්ට් ගලවා ඉවත් කිරීමෙන් පසු ඔවුන්ට රැස්වීම් භූමියට යාමට අවසර දුන්නේය. ඔවුන් ටී ෂර්ට් ඇඳ සිටියේ ඇඳ සිටි කමිසවලට උඩිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක සනී රෝහන කොඩිතුවක්කු මහතා එම රැස්වීම සංවිධානය කළේය.

මෙම අකරතැබ්බයට මුහුණපෑවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක මියුරු භාෂිත ලියනගේ මහතාගේ ආධාරකරුවන් පිරිසක් බව වාර්තතා වේ. මියුරු භාෂිත ලියනගේ මහතාට විශේෂ අමුත්තගේ දොරටුවෙන් රැස්වීම් භූමියට ඇතුළු වීමට මුලින් අවසර නොලැබුණු අතර පසුව ඔහුට එම දොරටුවෙන් යාමට අවසර ලැබුණි.

රැස්වීම් භූමියේ අපේක්ෂකයකුගේ ආධාරයට සැකසු ටී ෂර්ට් පැළඳ කිසිවකුත් සිටිනු දැකගත නොහැකි විය. මියුරු භාෂිත ලියනගේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයකු ලෙසිනි. ඔහු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස ද කටයුතු කළේය. මෙම සිදුවීම වන විට ඊයේ පෙරවරු 9.00 පමණ වූ අතර ඒ වන විටත් ජනාධිපතිවරයා එහි පැමිණ සිටියේ නැත.

- අජිත්ලාල් ශාන්ත උදය -