ඉඳුරුව මානාන සුදුවැලිපොත ප්‍රදේශයේ වෙල් යායක තිබී  ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් පෙරේදා (18)  පෙරවරුවේදී සොයාගත් බව කොස්ගොඩ පොලිසිය කියයි.  මෙසේ සොයා ගත්තේ ඌරගස්මංහන්දිය බෝගහවෙල පදිංචි දොලමුල්ල කංකානම්ගේ දිනේශ් කුමාර නමැත්තාගේ සිරුර බවද පොලිසිය කියයි.
එකට මත් පැන් පානය කළ තිදෙනෙකු විසින් අතින් පයින් හා කළු ගලකින් පහරදී මේ පුද්ගලයා ඝාතනය කොට ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර මේ ඝාතනයට සම්බන්ධ යයි සැකකෙරෙන සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු කරන්දෙණිය මණ්ඩකන්ද ප්‍රදේශයේදී ඊයේ (19) සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවටගත් බවද කියයි. අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්  ක්‍රියාත්මක කර ඇති බවත් පොලිසිය කියයි.

මේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනාම කුරුඳු තලන අය බවත් සැකකරුවන් අතින් ඝාතනය කෙරුණු අයද ඔවුන් සමග කුරුඳු තලන මිතුරකු බවත් පොලිසිය කළ පරික්ෂණවලදී හෙළිවී ඇත. සැකකරුවන් තිදෙනා ඉඳුරුව මානාන සුදු වැලිපොත ප්‍රදේශයේ කුරුඳු වාඩියක කුරුඳු තලමින් සිට ඇති බව පවසන පොලිසිය ඔවුන් තිදෙනා ඉකුත් සිකුරාදා පස්වරුවේදි තමන් වැඩ කළ කුරුඳු ඉඩමේ අයිතිකරුගෙන් ලැබුණු සති කාසි මුදල් ලබාගෙන එදින පස්වරුවේදි කුරුඳු වාඩියේ සිට මත් පැන් පානය කර ඇති බවත් පසුව ඔවුන් තිදෙනා එදින රාත්‍රියේදී තමන් අතින් ඝාතනය කෙරුණු සිය මිතුරා සොයා යතුරු පැදියකින් ඌරගස්මංහන්දිය ප්‍රදේශයට ගොස් ඇති බවත් එසේ යන අතරතුරදී මහ මග සිටි අයෙකුටද කැති ප්‍රහාරයක් එල්ල කොට ඇති බවත් ඔවුන්ගේ කැති පාර කෑ පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කියයි.


සිය මිතුරාගේ නිවසට ගිය මේ සැකකරුවන් තිදෙනා එහිදීද ඔහුත් සමග මත් පැන් පානය කොට ඇති බවත් පසුව සැකකරුවන් තිදෙනා නිවසේ සිටි සිය මිතුරා සමග තමන් කුරුඳු තලන ඉඳුරුව මානාන සුදුවැලිපොත වාඩියට පැමිණ ඇති බවත් පොලිසිය කියයි. එහිදී ඇති වූ කතාවක් දුරදිග ගොස් සැකකරුවන් තිදෙනාගේ ප්‍රහාරයකින් මේ පුද්ගලයා ඉකුත් 17 වැනිදා රාත්‍රියේදි මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි. තමන් අතින් ඝාතනය වූ මිතුරාගේ දේහය ඒ අසල  වෙල් යායකට ඇද දැමූ ඔවුන් තිදෙනා ඒ ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පෙරේදා (18) පෙරවරු 10.25 ට පමණ ඉඳුරුව මානාන සුදුවැලිපොත ප්‍රදේශයේ වෙල් යායක පුද්ගලයකු මරා දමා තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව කරන ලද සොයා බැලීමේදි ඝාතනයවූ මේ තැනැත්තාගේ මළ සිරුර සොයා ගත් බවත් පොලිසිය කියයි.

ඝාතනය වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (19) බලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණ. ඇල්පිටිය පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නාලක ජයවීර නියෝජ්‍ය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරරත්ත අපරාධ අංශයේ ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් ඇතුළු පොලිස් නිලධාරිහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

-හේමන්ත ද සිල්වා-