කොරෝනා ආසාදනය වී ඇති කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු ලෙස සේවය කළ උණවටුන, තල්පේ, අත්තරගොඩ ප්‍රදේශයේ පුද්ගලයාගේ මවට, බිරිඳට සහ අසල්වාසින්ට කොරෝනා ආසානය වී නොමැති බවට ඊයේ (12)කරාපිටිය
රෝහලේදී කළ පී.සී.ආර්. පරික්ෂණවලදී තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසා තිබුණි.
 උණවටුන, තල්පෙ, අත්තරගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි  මෙම උපදේශකවරයාගේ පී.සි.ආර්. පරික්ෂණය කරාපිටිය රෝහලේදී සිදු කිරීමෙන් අනතුරුව ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඉකුත් 11 වන දින ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහලට යවා ඇත.

ඉන්පසු ඔහුගේ මව සහ බිරිඳ ද අසල්වාසින්ද ඇතුළු 27 දෙනකු නිරෝධායනයට යොමු කිරිමට පියවර ගැනීමෙන් පසුව ඊයේ දිනයේදී එම පිරිසගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරිණි.
එහිදී තහවුරුවී ඇත්තේ එම පිරිසට කොරෝනා ආසාදනයවී නොමැති බව ය.

 ඔවුන් තවදුරටත් ස්වයං නිරෝධානයට යොමු කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
 මේ අතර ගුරුවරියක වන ඔහුගේ බිරිඳ සේවය කරන  විදුහලේ ඇයගේ  සමීප ආශිතයන් වූ ගුරුවරුන් හා ළමයින් පිරිසක්ද ස්වයං නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ.
 එයට අමතරව ඔහු ආගිය වෙළඳසල් සහ නිවාස කිහිපයක පුද්ගලයන් පිළිබඳව ද සොයා බලා ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගන්නා බව හබරාදුව මහජන සෞඛ්‍යය පරික්ෂක අචින්ත සමරසිංහ මහතා පැවසීය.

උණවටුන ඩී.ජී. සුගතපාල සහ අහංගම සුමතිපාල දීයගහගේ