පුරාවිද්‍යා ස්මාරකවලට සිදුකරන හානි සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියා වැනි අහිසංක පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි පෙරේදා (18) කුරුණෑගලට වැඩම කළ ජාතික බොදු බල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.
කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජ සභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ලට සිදුකර ඇති හානිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ මේ ප්‍රශ්නය නැගූහ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල තිබෙන බෞද්ධ පුරාවස්තූ අන්‍යාගමිකයන් විසින් ඉවක් බවක් නැතිව ඩෝසර් කොට විනාශ කරද්දි ඒ විනාශයම දකුණේ බෞද්ධ දේශපාලඥයින් විසින් සිදු කිරීම දැඩි සංවේගයට කරුණක් බව ද ඥානසාර හිමියෝ පැවසූහ. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

අපි අද මෙතැනට ආවේ නැගෙනහිර පළාතේ ඉඳලා. ඊයේ අපි හිටියේ අම්පාර දීඝවාපී රක්‍ෂිතයේ. අපි දීඝවාපියට යන කොටත් දීඝවාපී පරිවාර චෛත්‍යය දක්වා රක්ෂිතයේ ඒ පළාතේ මුස්ලිම් අන්තවාදීන් විසින් ඩෝසර් කරලා ඉවරයි. ඒ අතරේ දී තමයි කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජ සභා මණ්ඩපය කියන ගොඩනැගිල්ලට හානි කරලා කියන ආරංචිය ආවේ.

පුරාවෘත ගණනාවක්ම ගැන කියැවෙන ඓතිහාසික ස්ථානයක් මේක. කුරුණෑගල ඓතිහාසික රාජධානිය ගැන අද වන විට දකින්නට ලැබෙන එකම සලකුණ යි. මේ ඉපැරැණි ගොඩනැගිල්ල කුරුණෑගල නගරයට කොයිතරම් අලංකාරයක් ගෙන දෙනවා ද?

අපි අහන්නේ එකම දෙයයි. නොදන්නාකමට සීගිරියේ කුරුටුගී පවුරේ හැට්ට කට්ටකින් ඉරක් ඇඳපු දමිළ දරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඊළගට පිදුරංගල ගලේ ඉඳලා කොල්ලෝ කොලුකමට පස්ස පෙන්නුවා කියලා නීතිය ක්‍රියාත්මක කළා. එහෙම තියෙද්දී මේ ඓතිහාසික රාජ සභාව බිමට සමතලා කරන්න උත්සාහ කරපු අයට කෝ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරනවා. අපි අහන්නේ කෝ මේ රටේ නීතිය?

මේ රටේ නීතිය ක්‍රියාත්මක දුප්පත් මිනිස්සුන්ට විතර ද? පාලකයන්ට නැද්ද? එහෙම නම් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් ඉල්ලනවා දැන් තමුන්නාන්සේගේ වැඩ පෙන්වන්න කියලා. නැගෙනහිර එහෙම වනසද්දී කුරුණෑගල බෞද්ධයන් මෙහෙම කරනවා නම් අපට ඉතින් අබ සරණයි. ඒ නිසා මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි. අර බලය මේ බලය ඇවිල්ලා මෙතන උද්ඝෝෂණ කරන්නේ දේශපාලන වාසි ගන්න මිසක් මේ ගැන කැක්කුමකින් නොවෙයි. අද ඔය කෑ ගහන එකෙක්වත් නැගෙනහිර පුරා වස්තු වනසද්දී කතා කළේ නැහැ. පසුගිය ආණ්ඩුව කාලයේ දී කුරගල වනසද්දී දෙවනගල වනසද්දී මුහුදු මහා විහාරස්ථානය වනසද්දී අද කෑ ගහන ඔය චම්පිකලා ඒ වගේ ඒ ආණ්ඩුවේ හිටිය එකෙක් කතා කළේ නැහැ.

අපි කියනවා රට්ටු හිනස්සන්නේ නැතිව නගරාධිපතිවරයා වහාම මේ තනතුරෙන් අයින් වෙලා අපේ උරුමයන් තියෙන මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා.

කුරුණෑගල රාජ සභා මණ්ඩපයට සිදු කළ හානියට වගකිවයුත්තන්ට පුරාවිද්‍යා පනතට අනුව අනිවාර්යයෙන් දඬුවම් ලබා දිය යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා තෙක් ජනතාව ජනාධිපතිවරයා දෙස බලා සිටින බව ද උන් වහන්සේ සඳහන් කළහ.

මේ අවස්ථාවට උලපනේ සුමංගල, වනවාසී රාහුල, කුරුණෑගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ගිරිහාගම මුණිරතන, නියෝජ්‍ය ලේඛකාධිකාරි වීරපොකුණේ සුමංගල හිමිවරු ද සහභාගි වූහ.

- පුෂ්පකුමාර ජයරත්න -