පූර්ව විවාහ ඡායාරූප ඇල්බමයක් සඳහා ඡායාරූප ලබාගනිමින් සිටියදී පසුගියදා ලග්ගල සේරඇල්ලට තරුණයෙකු බිලිවූ සිද්ධියේ ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ නන්දන අමරතුංග සිද්ධිය සම්බන්ධයෙන් විස්තරයක් සිදු කර තිබේ. ඔහු ඒගැන
පැවසුවේ මෙසේය.
මෙම දියඇල්ල පැවති ස්ථානය ඡායාරූප ලබාගැනීමට හොඳ තැනක් කියලා මට කියලා තිබුනේ මීට පෙර දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසක්. අපි එදා උදේ වෑන් එකකින් එම ස්ථානයට පැමිණියා.  ඩිලාන් මගේ සහායක ලෙස කටයුතු කළා.

“අපි සේර ඇල්ල ළඟට හවස ගියා. එතන ගල් තලාවේ තමයි මුලින් විවිධ ඉරියව්වලින් ෆොටෝ ගත්තෙ.
සිද්ධිය වන අවස්ථාවේ එම ස්ථානයේ පුද්ගලයින් 50-60 අතර ප්‍රමාණයක් සිටියා. අන්තිම ෆොටෝ එක ගහන්න අපි සේර ඇල්ලේ පහළට බැස්සා. මං කිව්වා පහළ ගලට බැහැලා වතුර පාරක් සංජයගේ මුහුණට ඉහින්න කියලා.

 අපි සැලසුම් කළේ වතුරට බැහැලා වතුර පොඩ්ඩක් ඉහළට අතින් ඉහින අතරෙදි හොඳ ෂොට් එකක් ගන්න. වතුර අතින් ඉහළට ඉහිනවත් සමඟම ඡායාරුපය ගන්න තමයි සැලසුම් කර තිබුණෙ. අවාසනාවට එහෙමඋත්සාහ කරනවත් එක්කම පය ලිස්සලා දෙන්නම වතුරට වැටුණා.පෙම්වතියගෙ අතින් අල්ලගෙන සංජය පහළදී ගලට බහිනවත් එක්කම දෙන්නවම එකපාරට වතුරට වැටුණා. දෙන්නාම වළ ඇතුළට ඇදිලා ගියා.

 එතන 50ක, 60ක විතර පිරිසක් හිටියාට හැබැයි පීනන්න පුළුවන් කවුරුත් හිටියේ නැහැ වතුරට වැටුණු දෙන්නා බේරා ගන්න. සංජයගේ අම්මා වතුරට පැන්නා. ඊට පස්සේ එයාගේ සොහොයුරියත් පැන්නා. හරිම කලබලකාරී තත්ත්වයක් ඇති වුණේ. එතැන හිටිය අයෙක් මුළින්ම සංජයගේ පෙම්වතියව ගොඩට ගත්තා. පස්සේ අම්මා, නැන්දම්මා හා නංගිව ගොඩට ගත්තා. සංජය වතුර යටට ගිහිල්ලා උඩට එනවත් එක්කම මගේ කැමරාවේ ට්‍රයි පොඩ් එක් දිගු කලා එත් ඒක අල්ලාගන්න සංජය මල්ලිට බැරි වුණා. එත් එක්කම මල්ලි යටට ගියා. බේර ගන්න බැරි වුණා."

මියගිය සංජයගේ මළ සිරුර සෙවීමේ කටයුතු පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් හා නාවික හමුදාව විසින් පසු දින සිදු කළා. දහවල් 12.00 පමණ වන විට සංජයගේ මළ සිරුර ගොඩට ගෙන හදිසි මරණ පරීක්ෂණ කටයුතු හා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරුණෙ දඹුල්ල මූලික රෝහලේ දී යි.