පරීක්ෂාකාරී ලෙස බස් රථ, ටිපර් රථ හා කන්ටේනර් රථ මගින් සිදුවන අනතුරුවලදී පුද්ගල මරණ සිදුවුවහොත් රියැදුරුට නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම ඇතුලු තවත් නෛතික ක්‍රියාමාර්ග රැසක් ගන්නට තීරණය කළ බව පොලිස් මූලස්ථානය
සඳහන් කරයි.

මේ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (29දා )මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. මෙවැනි අනතුරු සිදු වූ පසු රියැදුරට නෛතික පියවර ගැනීමට අමතරව තරඟකාරී ලෙස, අනතුරුදායක ලෙස මාර්ගය ධාවනය කිරීමේදී පුද්ගලයන් මියගියහොත් බස් රථවල මාර්ග බලපත්‍ර අහෝසි කිරීම සඳහා අදාළ බලධාරීන් වෙත නෛතිකව කරුණු ඉදිරිපත් කර අදාළ කටයුතු කරන ලෙසට උපදෙස් ලබාදුන් බවද ඒ මහතා පවසා සිටියේය.

මෙම තීරණය ගැනීම සඳහා පසුගිය වසර පහක් තුළ සිදු වූ අය අනතුරු පිළිබඳව සොයා බැලූ බවත්, 2015 වසර සැලකීමේදී මාරක රිය අනතුරු දෙදහස් හයසීයක් සිදුව තිබෙන බවත්, මෙහිදී ලංගම බස් රථ හැටපහක් හා පුද්ගලික බස් රථ එකසිය හැත්තෑ හතක් මාරක රිය අනතුරු සිදුකර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අනුව සමස්ත මාර්ග අනතුරුවලින් 10% ප්‍රමාණයක් බස් රථවලින් සිදුව තිබෙන බවත්, 2016 වර්ෂයේදී දෙදහස් අටසිය තිස් හතක් මාරක රිය අනතුරු සිදුව තිබෙන අතර, මෙහිදී ලංගම බස් රථ අනූ දෙකකින් හා පෞද්ගලික බස් රථ එකසිය හැට හතරකින් මාරක රිය අනතුරු සිදුව තිබෙන බවත් ඒ මහතා පැවසීය. ප්‍රතිශතයක් ලෙස එය ආසන්න වශයෙන් 9%ක් බවද හෙතෙම පවසා සිටියේය.

2017 වසර සැලකීමේදී මාරක අනතුරු දෙදහස් නවසිය හැටපහක් සිදුව තිබෙන බවත්, මෙහිදී පෞද්ගලික බස් රථ එකසිය අනු හතරකින් හා ලංගම බස් රථ. පනස් නවයකින් මාරක අනතුරු සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය. එය ප්‍රතිශතයක් ලෙස 8.5%ක ප්‍රතිශතයක් බවද ඒ මහතා පවසා සිටියේය.

2018 වසර සැලකීමේදී මාරක රිය අනතුරු දෙදහස් නවසිය අනූ හතරක් සිදුව තිබෙන බවත්, ලංගම බස් රථ හැට එකකින් හා පෞද්ගලික බස් රථ දෙසිය තිස් නවයකින් මාරක රිය අනතුරු සිදුව තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයක් බවද ඒ මහතා සඳහන් කළේය. 2019 වසරේදී මාරක රිය අනතුරු දෙදහස් හයසිය අසූ අටක් සිදුව තිබෙන බවත්, ලංගම බස් රථ තිස් හතරකින් හා පුද්ගලික බස් රථ එකසිය අසූ හතරකින් මාරක රිය අනතුරු සිදුව තිබෙන බවත්, එය ආසන්න වශයෙන් රිය අනතුරුවලින් 8%ක ප්‍රමාණයක් බවත් ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේය.

දල වශයෙන් සැලකීමේදී 10%ක ප්‍රමාණයක් අනතුරු සිදුවනුයේ බස්රථවලින් බවත්, මේ අනුව රිය අනතුරු සිදුකරන බස්රථ රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා සේම ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීම සඳහා නෛතික පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව ගෙවී ගිය වසර පහක කාලය සැලකීමේදී සිදුවූ මාරක අනතුරුවලින් එක්දහස් අටසිය හතළිස් පහක් සිදුව තිබෙනුයේ ටිපර් රථ හා කන්ටේනර් රථවලින් බවත්, මෙවැනි අනතුරු සිදුකරනු ලබන්නේ බර වාහන නොසැලකිලිමත් ලෙස අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම තුළින් බවත් ඒ මහතා පවසා සිටියේය.

මේ නිසා අන්තරාදායක ලෙස රිය අනතුරු සිදුකරන වාහනවල රියැදුරන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට අමතරව අදාළ වාහනවලට ලබාදී තිබෙන ව්‍යාපාරික බලපත්‍ර අවලංගු කිරීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා පවසා සිටියේය.

(ඉන්දික හේවාවිතාරණ)