විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් වන්දි ලබාගැනීම සඳහා පදිංචි සහතිකයක් නිකුත් කිරීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ලබා ගත්තැයි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක සහ ඇයට ආධාර අනුබල දුන් බව කියන ත්‍රිරෝද රථ රියැදුරකු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පෙර්දා 28වැනිදා නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අංක 177 දෙමටගොඩ ග්‍රාම නිලධාරී වසම් ග්‍රාම නිලධාරිනිය ලෙස සේවය කළ බෝපිටිය ගමගේ රංජනී සහ ත්‍රිරෝද රථ රියැදුරකු වන රාම පුෂ්පරාජා යන දෙදෙනාය.

පැමිණිලිකාරිය දෙමටගොඩ දුම්රිය නිවාසවල පදිංචිව සිටින අතර, 2017 වර්ෂයේ සිට එම නිවාසයේ පදිංචී බවට ව්‍යාජ සහතිකයක් ලබාගැනීම සඳහා සැකකාරිය මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම සැකකාරිය කිහිප වතාවක්ම පැමිණිලිකාරිය වෙත දුරකතනයෙන් අමතා අදාළ මුදල ඉල්ලා ඇති අතර පැමිණිලිකාරිය මේ සම්බන්ධයෙන් තම කොමිසමට පැමිණිලි කළ බවත් පසුව උපාය දූතයකු සමඟ ගොස් ග්‍රාම නිලධාරී කාර්යාලයේදී අල්ලස් මුදල් ලබා දෙද්දී මෙලෙස අත්අඩංගුවට ගත් බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

දෙවැනි සැකකරු ත්‍රිරෝද රථ රියැදුරකු වන අතර මෙම අල්ලස් මුදල ලබාගැනීමට සම්බන්ධීකරණය කිරීම සඳහා රුපියල් 500ක මුදලක් ලබාගෙන ඇති බවද කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.

සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සංජය ගමගේ මහතා සඳහන් කර සිටියේ පැමිණිලිකාරිය අනවසර ස්ථානයක පදිංචිව සිටින අතර ස්ථානීය පරික්ෂණය කර පදිංචි සහතිකය ලබා දීමට නොහැකි බව පැවසූ බැවින් මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි යන්නය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මහේෂ් කුමාර මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා සැකකාරිය සමඟ ගමන් බිමන් ගියා මිස මේ සිද්ධියට කිසිඳු සම්බන්ධයක් නොමැති බවය. නීති විරෝධී වැඩ සිදුකර තමන් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි සැකකරුවන්ගෙන් විමසූ මහේස්ත්‍රාත්වරිය ලබන 07 වැනිදා තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

- නිමන්ති රණසිංහ -