ඩෝසර් කර විනාශ කරන ලද කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රයේ  පවත්වාගෙන ගිය "බුවනෙක හොටලය" ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම් වලට අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස
කුරුණෑගල මහේස්ත්‍රාත්  ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාට හා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පෙරේදා (28) නියම කළේය.  මෙම පෞරාණික ගොඩනැගිල්ලේ ස්මාරකයට හා පෞරාණික කානු පද්ධතිය විනාශ කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන කටයුතු සඳහා "බුවනෙක හෝටලය" ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තා අවශ්‍ය වී ඇතැයි කියමින් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නිතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ මාධව තෙන්නකෝන් මහතා  කළ ඉල්ලීම් සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

'බුවනෙක හෝටලය' ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු අද දිනය තූළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  කුරුණෑගල මහනගර සභාවේ  නගරාධිපතිවරයාට ද වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තා වහාම, අද දිනය තූළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ද නියම කර ඇති බව නිතීපතිවරයාගේ සම්බන්ධීකරණය නිලධාරිණි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ නිශාරා  ජයරත්න මෙනෙවිය පැවසුවාය.බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන මෙම පෞරාණික ගොඩනැඟිල්ලේ ස්මාරකය හා පෞරාණික කානු පද්ධතිය විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක  මහතා කළ පැමිණිල්ලකට අනුව කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇත.

කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක කුලතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද මෝසමකට අනුව එම නඩුව කැඳවන ලදී. සිද්ධියට අදාළව සිඳුකරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක කුලතුංග මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව දැනුම් දුන්නේය.  නිතීපතිවරයා නියෝජනය කරමින් රජයේ  නිතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණය අමතමින් මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන කටයුතු සඳහා 'බුවනෙක හෝටලය' ගොඩනැඟිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තතා අවශ්‍ය වී ඇතැයි පැවසීය.

එහෙයින් 'බුවනෙක හෝටලය' ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාට ද වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තා වහාම, අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ද නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝග නිකුත් කළේය.



-මනෝප්‍රිය ගුණසේකර-