මාර්ග නීති කඩ කිරීමක් සම්බන්ධයෙන් දඩ කොළයක් ලිවීම ගැන උරණ වූ ටිපර් රථ රියැදුරකු මාර්ග  බාධකයක රාජකාරි කළ එම පොලිස් නිලධාරීන් යටකර ගෙන තම රථය ධාවනය කරවීම නිසා එක් පොලිස් නිලධාරියකු ඊයේ (14දා) අලුයම ජීවිතක්ෂයට පත්වූ අතර
තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකුට බරපතළ තුවාල සිදුවී තිබේ.
පෙරේදා (13) රාත්‍රි හක්මන කිරින්ද නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් රාත්‍රි එකොළහට පමණ මාතර දෙස සිට පැමිණි ටිපර් රථයක් තනි විදුලි බුබුළක් පමණක් දල්වා ගමන් කිරීමේ හේතුවට නතර කිරීමට අණ කර ඇති අතර ටිපර් රථය අණ නොතකා ධාවනය කර ඇත.

පසුව එම නිලධාරීන් ඉදිරි මාර්ග බාධකයේ රාජකාරියේ නියුතු නිලධාරීන්ට ටිපර් රථය පිළිබඳ දැනුම් දී ඇති අතර ඒ අනුව මාර්ග බාධකයේදී ටිපර් රථය නතර කර පරීක්ෂා කර තිබේ. ටිපර් රථය පසුපස ලුහුබැඳ යතුරුපැදියකින් පැමිණි නිලධාරීන් දෙදෙනාද මාර්ග බාධකය අසලට පැමිණ රියැදුරාගෙන් ප්‍රශ්න කර තිබේ.

එහිදී රියැදුරු බලපත්‍රය පරික්ෂා කිරීමේදී ඉකුත් නව වැනි දින කොටවිල ප්‍රදේශයේදී වැලි ටිපරයක් ලයිට් කණුව හප්පා විදුලිබල මණ්ඩලයට කළ අලාභයක් වෙනුවෙන් රුපියල් 1,00,000ක දඩයක් ගෙවා වැලි ටිපරය නිදහස් කරගෙන ඇති බවද හෙළිව ඇත. එම අනතුර සම්බන්ධයෙන් රියැදුරුට එරෙහිව ඇති නඩුව හෙට (16දා) මාතර අධිකරණයේදී විභාගයට ගැනීමටද නියමිතව තිබී ඇති අතර
එකී වරද නිසා කොටවිල පොලිසිය  නිකුත් කළ තාවකාලික බලපත්‍රය මෙහිදී ඉදිරිපත් කර ඇත.
අනතුරුව රියැදුරු කළ වරදට දඩපතක් නිකුත් කර රියැදුරු මුදාහැරීයද ඔහු නැවත නැවත දඩ ලිවීම ගැන අමනාපයෙන් කතා කර තිබෙන්නේ කේන්තියෙනි. උඹලාට හෙණම ගහපන් කියාගෙන ඔහු ගොස් තිබේ.
එලෙස යාමෙන් පසු ඔහු හක්මන දෙසට ගොස් විනාඩි දහයකින් පමණ පෙරළා හක්මන දෙස සිට වේගයෙන් පැමිණ ටිපර් රථය මාර්ග බාධකයේ හප්පා පොලිස් නිලධාරීන්ද යට කරගෙන පලාගොස් ඇත.
මෙහිදී පොලිස් කොස්තාපල් කෙනෙකුගේ අත් පා යට කර මරණට පත් කර තවත් දෙන්නෙකුට බරපතල තුවාල සිදුවිය.
අනතුරින් මියගොස් ඇත්තේ හක්මන පොලිසියට අනුයුක්තව සේවය කළ වලස්මුල්ල, මොදරවාන ප්‍රදේශයේ පදිංචි මාලිත විතාරණ (78262) නමැති පොලිස් කොස්තාපල්වරයාය. එම නිලධාරියා තිස්හය වැනි වියේ පසුවූ දෙදරු පියෙකි. පොලිස් සැරයන්වරුන් වන දිලීප් (17758), පුෂ්පකුමාර (60818) යන නිලධාරීන් බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
 ටිපර් රථයේ රියැදුරු හුංගම පොලිස් වසමේ පදිංචි අයකු බව මූලික පොලිස් විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

දඩ කොළය ලියූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් හයදෙනකු රාජකාරියේ නිරත වී තිබේ. එම ප්‍රදේශයේ පුද්ගලයකු පැවැසුවේ තමන් පොලිස් නිලධාරීන්ට තේ රැගෙන එනවිට මෙම ටිපර් රථ රියැදුරාට පොලිසිය දඩ කොලයක් ලියූ බවත් තමා තේ ටික පොලිස් නිලධාරීන්ට දී අසල නිවෙසට යන අවස්ථාවේ එක්වරම ශබ්දයක් ඇසුණු බවත් වහා එම ස්ථානයට පැමිණ බලන විට පොලිස් නිලධාරීන් සිටි කූඩාරම පොඩිපට්ටම් වී විනාශ වී තිබූ බවයි.
අනතුරින් පසු පලාගිය ටිපර් රථය සොයාගෙන ඇති අතර 34 හැවිරිදි රියැදුරුද හුංගමදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ටිපර් රථයද ලියාපදිංචි කර ඇත්තේ හුංගම පොලිස් බල ප්‍රදේශයේ කට්ටකඩුව නම් ලිපිනයකටය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසියකු මෙසේ පැවැසීය.
“රාත්‍රි එකොළහට පමණ මාර්ග බාධකය පැත්තෙන් විශාල ශබ්දයක් ඇසුණා. අපි ඉක්මනින් ගිහින් බලන විට පොලිසියේ මහත්වරුන් කිහිපදෙනකු වැටිලා හිටියා. තිදෙනකු බරපතළ තත්ත්වයේ පසුවුණා. ඉක්මනින්ම ඒ අය රෝහලට රැගෙන ගියා.” මියගිය පොලිස් නිලධාරියාගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (14) දහවල් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ලලිතා විතානාරච්චි මහත්මිය විසින් සිදුකරන ලද අතර මහේස්ත්‍රාත් පරික්ෂණයේ සාක්‍ෂි විමසීම ලබන 23 වැනිදා කැදවන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.