මග්ගොන උස්වැල්ල මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියදී පෙරේදා (13) සවස මුහුදු රළට හසුවී අතුරුදන්වූ එකම පවුලේ සොයුරියන් දෙදෙනාගේ සිරුරු ඊයේ (14) උදේ මග්ගොන වෙරළට ගොඩ ගසා තිබූ බව පයාගල පොලිසිය කියයි.


මෙසේ මියගොස් ඇත්තේ බේරුවල කෝපිවත්තේ පදිංචිකාරියක් වූ ෆාතිමා නිස්පා (අවු 15 )සහ පාතිමා නිස්මා (අවු 12) යන දෙදෙනායි මෙම මරණ පිළිබඳ මරණ පරික්ෂණ ඊයේ (14) දහවල් බේරුවල හදිසි මරණ පරික්ෂක ඊ.එච්.ටී. බණ්ඩාර මහතා ඉදිරියේ කළුතර නාගොඩ මහ රෝහලේදී පැවැත්විණි.


මෙලෙස මියගිය දරුවන් දෙදෙනා බේරුවල මාලිගාහේන මුස්ලිම් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන
දරුවන් දෙදෙනකු වන අතර පෙරේදා (13) සිට නැවතත් පාසල් නිවාඩුව දීර්ඝ කිරිම හේතුවෙන් මග්ගොන ප්‍රදේශයේ නෑදෑ නිවසකට සම වයසේ තවත් දරුවන් නව දෙනකු ඇතුළු වැඩිහිටියන් සමග ගොස් එම වෙරළ තීරයේ මුහුදු රළ පාගා විනෝද වෙමින් සිටියදී  මෙම සිද්ධියවී ඇතැයි මව ෆාතිමා සිඹියා පයාගල පොලිසිය කියයි.

මෙසේ දියපහරට හසුව බේරුවල රෝහලට ඇතුළත් කරන ලදුව ප්‍රතිකාර ලබන අටහැවිරිදි නිෆ්ලා ෆාතිමා දැරියගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.