වසර තිස්තුනකට පෙර අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 31 නමක සාහසික ලෙස ඝාතනය කළ දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදින්ට නඩු පැවරීමට නියෝග කරන ලෙසත් සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වකරුවන්ට රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන්
දිවි ගලවා ගත් නමුත් පූර්ණ ආබාධිත තත්වයට පත් ආඳාඋල්පත බුද්ධසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (30) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

 එම ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් රිදීමාලියද්ද, දහම් සෙවණට පදිංචි ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ යන අය නම් කරනු ලැබ සිටිති.

එම අමානුෂික ඝාතනය සිදු කළ ත්‍රස්තවාදීන්ට එරෙහීව නීතිය මහා ක්‍රියාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරතැයිද එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

 නීතිඥ මෝදිත ඒකනායක මහතා නීතිඥ නිරෝෂිකා වේගිරිය මෙනෙවිය මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමෙන් මෙසේද සඳහන් වේ.

පෙත්සම්කාර හිමිනම පනස් එක් හැවිරිදි වියේ පසුවෙති. අරන්තලාව භික්ෂු ඝාතනයේ ගොදුරකි. දැනට එම සිද්ධිය ඇසින් දුටු සාක්කිකරුවෙකි. 1987 ජුනි 02  වැනිදා සිදුවූ අරන්තලාව භික්ෂු ඝාතනයෙන් හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියෝ සාමණේර හිමිවරු 30 නමක් හා සිවිල් වැසියෝ පිරිසක්ද මරණයට පත් වූහ. මෙම සිද්ධියෙන් පෙත්සම්කාර හිමිනමට වෙඩි වැදුණු අතර  ඉන් කොඳු ඇටපෙළට බරපතළ හානි සිදුවිය.  මේ හේතුවෙන් සිරුරේ ඉණෙන් පහළ කොටස සදාකාලික අප්‍රාණික තත්වයට පත් විය.

මෙම සිද්ධියට එල්ටීටීඊ සංවිධානය සෘජුවම වගකිව යුතු වේ. එහෙත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත. මෙම තත්ත්වය තුළ සිද්ධියෙන් මරණයට පත්වූවන්ගේ සහ සිද්ධියෙන් තුවාල ලැබ ජීවත්වන භික්ෂූන් වහන්සේලාගේ මූලික අයිතිවාසිකම් කඩවීමකි.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීම අවසර ලබා දෙන ලෙසත් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන  ලෙසත් මේ පිළිබඳ සුදුසු පරීක්ෂණයක් පවත්වා මෙම සිද්ධියට සම්බන්ධ වගකිව යුතු දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට නඩු පැවරීමට වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරන ලෙසත් අගතියට පත් අයට රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසත් ආඳාඋල්පත බුද්ධසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා සිටිති.

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)