තලංගම පැලවත්ත පහළවෙල ප්‍රදේශයේ ඉදිකරන යුද හමුදාවට අයත් ගොඩනැගිල්ලක සෙවිලි තහඩු අතුරමින් සිටි හමුදා සෙබළකු එම වහළයෙන් බිමට වැටීමෙන් පෙරේදා (21) සවස සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.

මියගිය යුද හමුදා සාමාජිකයා තව පිරිසක් සමග යුද හමුදාවට අයත් මුළුතැන්ගෙයක වහළයක් සකස් කරමින් සිටින අතරතුර මෙලෙස වහලයේ සිට අඩි 19 ක් පමණ පහළව අදවැටී හිස ප්‍රදේශය පොළවේ ගැටී තිබූ බව සිදු කළ මුලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

යුද හමුදා නිලධාරියාගේ දේහය තබා තිබු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මත ශරීරාගාරය වෙත පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා එම දේහය
කළුබෝවිල මහ රෝහල වෙත යවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස ලබා දුන් නියෝගය  අනුව කටයුතු කිරිමට නියමිත බවද පොලිසිය පවසයි. මෙම අනතුරින් මිය ගොස් ඇති කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදංචිකරුවකු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු අංශයේ විදුලි  කාර්මික ශිල්පියෙකු ලෙස රාජකාරි කල සම්පත් රණවීර නමැති හමුදා සාමාජිකයෙකි.
තලංගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීශාන්ත අල්විස් මහතාගේ උපදෙස් පරිදි පොලිස්  කොස්තාපල් ශාන්ත මහතා පරික්ෂණ පැවැත්වීය.

(මොරගහහේන කේ. බුද්ධික කුමාරසිරී සහ මත්තේගොඩ ශාන්ත ප්‍රදිප් කුමාර කුලරත්න)