සිරියාවේ IS සංවිධානය හා එක්වී ජිහාඩ් සාමාජිකයෙකුගේ බිරිදක් වීමට ගිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ෂමීමා බෙගම් කාල බෝම්බයක් හා සමාන බව IS සංවිධානය අතින් ගෙල සිඳ ඝාතනය කෙරුණු බ්‍රිතාන්‍ය සහන සේවක ඩේවිඩ් හේයින්ස්ගේ දියණිය පවසයි. ඒ අනුව ෂමීමා බ්‍රිතාන්‍ය වෙත ගෙන්වා ගැනීම එරට
මහජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් බවද ඇය පෙන්වා දෙයි.

සිරියාව තුළ ඉස්ලාම් රාජ්‍යය පරාජයට පත්කිරීමෙන් අනතුරුව ෂමීමා බෙගම් මේ වනවිට එරට සරණාගත කඳවුරක වාසය කරයි. ජිහාඩ් සටන්කරුවන්ට දාව ඇය දරුවන් බිහිකර ඇති අතර, ඔවුන් සියලු දෙනාම මේ වනවිට මරණයට පත්ව ඇතැයිද පැවසෙයි. ඇයට එරෙහිව චෝදනා විමර්ශනයට බ්‍රිතාන්‍ය රජය කටයුතු යොදා ඇති අතර, ඒ යටතේ ඇය යළිත් එරටට ගෙන්වා ගැනීමට යෝජනා ඉදිරිපත් ව තිබේ.

බ්‍රිතාන්‍ය සහන සේවක ඩේවිඩ් හේයින්ස් 2013 වසරේ මාර්තු මාසයේදී සිරියාවත් තුර්කියත් අතර දේශසීමාවේදී රාජකාරී කරමින් සිටියදී ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් විසින් පැහැර ගෙන තිබුණි. පසුව මාස 18ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව එම සංවිධානයේ වධකයා ලෙස සැලකෙන මොහොමඩ් එම්වාසි විසින් 2014 සැප්තැම්බර් මාසයේදී ඔහු ගෙල සිඳ මරා දැමීය.

බ්‍රිතාන්‍යයේ උසස් පාසලක අධ්‍යාපනය ලබමින් සිටි ෂමීමා බෙගම් සිරියාවේ IS සටන්කරුවන් හා එක්වීමට යන්නේ එම සංවිධානය ලොව පුරා දරුණු භීෂණයක් ඇති කරමින් සිටින පසුබිමකය. ඇය සිය මිතුරියන් දෙදෙනකුද සමග තුර්කිය හරහා සිරියාවට ගොස් තිබුණි. එහිදී ඇයට දරුවන් තිදෙනෙකු ලැබී ඇති අතර, ඔවුන් සියලු දෙනාම මරණයට පත්ව තිබේ. මේ වනවිට ඇගේ වයස අවුරුදු 20කි. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පසුගියදා ප්‍රකාශයක් සිදුකරමින් ෂමීමා බෙගම් නැවතත් බ්‍රිතාන්‍යය වෙත ගෙන්වා ගැනීම සඳහා වන නීතිමය සහාය ලබා දීම සම්බන්ධයෙන් විමසා සිටින බව පවසා ඇත.