ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තුර්කිය කේන්ද්‍ර කර ගනිමින් සිදු වන වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට හයිද්‍රාබාද් පොලිසිය සමත්ව තිබේ. ඒ තුර්කියේ හෝ ශ්‍රී ලංකාවේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්
පවුලකින් රුපියල් ලක්ෂ 34ක මුදලක් ලබාගැනීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමත් සමගිනි.

හයිද්‍රාබාද්හි පදිංචි ඩී.එස්. පවන් ශ්‍රීනිවාස් නම් මෙම සැකකරුට MBA උපාධියක්ද තිබේ. ඔහු එක වකුගඩුවක් පරිත්‍යාග කර ඇති පුද්ගලයෙකුද වන අතර, පසුව එහි ඇති මුදල් ඉපයීමේ හැකියාව සලකමින් වකුගඩු පරිත්‍යාග කරන්නන් හා අවශ්‍ය වූවන් සම්බන්ධීකරණය කිරීම ආරම්භ කර තිබේ.

හයිද්‍රාබාද් ඒකාබද්ධ කොමසාරිස් ඒ.ආර්. ශ්‍රීනිවාස් සැකකරු වකුගඩු බද්ධ කිරීම් නවයකට පමණ පහසුකම් සපයා ඇත. සෑම බද්ධ කිරීමක් සඳහාම ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 06ක කොමිස් මුදලක් අය කරගෙන තිබේ.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්, නවාතැන් පහසුකම් හා වෙනත් වියදම් මෙන්ම වකුගඩු පරිත්‍යාගශීලියා වෙනුවෙන් රුපියල් ලක්ෂ 34ක මුදලක් පවුලකින් ලබාගැනීමෙන් පසු ඔහු සියලු සබඳතා අවහිර කර පසුගිය වසරේ ජුනි මාසයේදී අතුරුදන්වී තිබේ.

ඒ අනුව ලැබුණු පැමිණිල්ලට අනුව බන්ජාරා හිල්ස් පොලීසිය පසුගිය ජුනි මාසයේදී පවන්ට එරෙහිව වංචා සහ සාපරාධී විශ්වාසය කඩකිරීමේ නඩුවක් ගොනු කර තිබුණි.

සැකකරු මුදල් ලබාගැනීමේදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ හෝ තුර්කියේ සිටින ඔහුගේ දන්නා සමීපතමයන් හරහා මෙම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා අවශ්‍ය පහසුකම් සලසන බවයි. ඒ පිළිබඳ කළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ සැකකරු එම මුදල් ශ්‍රී ලංකාවේ කැසිනෝ ක්‍රීඩා කිරීම සඳහා වියදම් කර ඇති බවයි.


එසේම කොටස් වෙළෙඳ පොළෙහි අලාභයක් සිදුවීමෙන් පසු සැකකරු 2013දී ශ්‍රී ලංකාවට පැමිණ මුදල් ලබාගැනීම සඳහා වකුගඩුවක් විකුණා වෛද්‍යවරුන් සමඟ සම්බන්ධතා ගොඩනඟාගෙන තිබේ.  පසුව මෙය පහසුවෙන් මුදල් උපයා ගැනීමට ඇති අවස්ථාවක් බව වටහාගත් සැකකරු අවශ්‍යතා ඇති රෝගීන් සඳහා පරිත්‍යාගශීලීන් සම්බන්ධ කිරීමේ නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමට පටන් ගෙන තිබේ.

ඔහු සමාජ මාධ්‍ය හරහා දුප්පතුන් ආකර්ෂණය කර ගැනීමට පටන් ගත් අතර, මුදල් සඳහා ඔවුන්ගේ වකුගඩු පරිත්‍යාග කිරීමට සූදානම් කර ඇත.

ඔහුට ඇති සබඳතා අනුව ඔහු ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ සමහර රෝහල්වල වකුගඩු බද්ධ කිරීම් සිදු කර තිබේ.

සැකකරුට එරෙහිව ඉන්දියාවේ නඩු තුනක් ගොනුකර ඇති අතර, වසර එකහමාරකට වැඩි කාලයක් නීති විරෝධී ලෙස වීසා අවසන්ව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද වසර එකහමාරක් පමණ සිරගතව සිට ඇත.