පුත්තලම ආසිරිගම ප්‍රදේශයේදී දස හැවිරිදි දැරිය මරණයට පත්ව ඇත්තේ අධික ලෙස රුධිර වහනය වීමෙන් බව පුත්තලම මූලික රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබිලිවේ.එස්.කේ.ආර්. වික්‍රමාරච්චි මහතා සනාථ කර තිබේ.
මේ අතර අධිකරණ වෛද්‍ය තිලධාරීවරයාගේ වාර්තා මඟින් සනාථ කර ඇත්තේ දැරිය අමානුෂික ලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි. සර්පයකු දෂ්ඨ කළ බව පවසමින් අදාළ දැරියගේ මව විසින් පසුගිය (16දා) දැරිය රෝහල්ගත කිරීමෙන් පසු ඇය ජීවිතක්ෂයට පත්ව තිබූ අතර මේ සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් හා රෝහල් පොලිස් නිලධාරීන්ට ඇතිවූ සැකය මත වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබිණි.


ඒ අනුව පුත්තලම මූලස්ථාන පොලිසියේ පොලිස් අපරාධ විමර්ශන ඒකකය හා පොලිස් අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් පිරිසක් දැරිය පදිංචිව සිටි පුත්තලම ආසිරිගම පුද්ගලික පොල් වතු යායේ සිදු කළ පරීක්ෂණවලදී රුධිරය වහනය වූ රෙදි කැබිලි රැසක් අදාළ ඉඩම් නිවසට ආසන්නව වළ දමා තිබියදී සොයා ගන්නා ලදී.

ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් මරණයට පත් දැරියගේ මව හා කුඩා සොහොයුරන් දෙදෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ලක් කර තිබූ අතර දැරියගේ මවට විවාහ දෙකකදී දරුවන් අට දෙනකු සිටින බවත්, මෙම දැරිය දෙවැනි විවාහයේ දරුවෙකු බවද පොලීසිය එහිදී කරලා අනාවරණය කර ගෙන තිබේ.

මෙම කාන්තාව මාස අටක සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන පුද්ගලයා විසින් එම දැරිය අමානුෂික ලෙස අපයෝජනයට ලක් කර ඇති බවත්,  සිද්ධියෙන් පසු දැරිය අධික රුධිර වහනය වෙමින් තිබියදී රෝහල්ගත කිරීම පවා සිදු කර නොමැති බවත් පොලිස් පරීක්ෂණාවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, මොහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක පී. කුමාරදාස මහතා පැවසීය.

- හිරාන් ප්‍රියංකර ජයසිංහ -