සර්පයෙකු දෂ්ඨ කිරීමකින් මරණයට පත්වූ බව සදහන් කළ දස හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පුත්තලම මූලස්ථාන පොලීසිය පවසයි. අදාළ දැරිය ඊයේ (16දා) උදැසන අසාධ්‍ය තත්වයෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරණයට පත්ව තිබූ බවද පොලිසිය
පවසයි. දැරියන්ගේ මව රෝහල් පොලීසියට දන්වා ඇත්තේ සර්පයකු දෂ්ඨ කළ බව වන නමුත් මෙම මරණය සම්බන්ධව රෝහල් පොලීසිය පුත්තලම මූලස්ථාන පොලීසියට දැන්වීමෙන් පසුව වැඩිදුර පරීක්ෂණ අරඹා තිබේ. මරණයට පත් දැරියගේ මව පුත්තලම කුරුම්පගල මාර්ගයේ ආසිරිගම ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක සේවය කරමින් ඇති බවත්, එම ස්ථානයේදීම මරණයට පත් දැරිය හා ඇගේ කුඩා සොහොයුරන් දෙදෙනෙකුද සිට ඇති බවත්, මරණයට පත් දැරියන්ගේ 17 හැවිරිදි සොහොයුරියක් විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

මරණයට පත් දැරියගේ මවට විවාහ දෙකකදී දරුවන් අටදෙනෙකු සිටින බවද පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. පොලිස් සොකො නිලධාරීන් හා පුත්තලම මූලස්ථාන පොලීසියේ නිලධාරීන් මරණයට පත්ව ඇති දැරිය පදිංචි සිට ඇති පොල් ඉඩම තුළ ඊයේ (16දා) සවස සිදුකළ විමර්ශනවලදී නිවස ආසන්නයේ වළ දමා තිබූ ලේ කැටිති තැවරුණු ඇදුම් කීපයක් වළ දමා තිබියදී සොයා ගෙන ඇති බවද පැවසේ. පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් සැක කරන්නේ දැරියගේ මව දැනට  මාස අටක සිට ඇසුරු කරන අනියම් සැමියා අතින් දැරිය ගැබ් ගැනීමකට ලක්වන්නට  ඇති බවත්, දැරියට කිසියම් ඖෂධයක් ලබා දී ගැබ් ගැනීම ඉවත් කිරීමට ඇගේ මව සමග අනියම් සැමියා උත්සහ කරන්නට ඇති බවත්, එම සිද්ධියෙන් පසුව අධික  ලෙස රුධිරය වහනය වීමේන් අසාධ්‍ය තත්වයට පත් වී රෝහල්ගත කරන විටත් මරණයට පත් වන්නට ඇති බවත්ය. කෙසේ වෙතත් දැරියගේ මරණයත් සමග මවගේ  අනියම් සැමියා ප්‍රදේශය හැර දමා ගොස් ඇති බවද පැවසේ.

මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය අද (17දා) පැවැත්වීමට නියමිත අතර එදිනම පශ්චාත්ත් මරණ පරික්ෂණයද පැවැත්වීමට නියමිතව තිබුණි.  දැරියගේ මරණයට  පදිංචිව සිටි වතු යායට  පොලිස් ආරක්ෂාව යෙදවීමට  පුත්තලම මූලස්ථාන පොලීසිය කටයුතු කර තිබුණි.

-හිරාන් ප්‍රියංකර ජයසිංහ-